සීත දුරුත්තේ අවිහිංසකාවිය ගේ කතාව ‘මොට්ටු’

    0
    19

    නත්තල අභියස බව හඟවන්නට සුළං රැළි කෙමෙන් කෙමෙන් පරිසරය පුරා හමන්නේ සිරුර පුරා හිරිගඩු නංවමිනි. වැහි කෝඩ දවස පුරා චිරි චිරි හඬ නංවමින් දසත විසිරෙද්දී චාරිකා සන්නස්ගල රචිත මොට්ටු පොත අතට ගත්තේ වලාකුළු නගරයේ කිරිල්ලියක මෙන් පියාසලන්නට බලාපොරොත්තුවෙනි.


    හපුතලේ , නුවරඑළිය කියන්නේ මම ආසම පළාත්. හේතුව පුංචි කාලේ ඉඳලම මම ආදරේ කළේ, ආසා කළේ සීතල මීදුමෙන් වටවුණු කඳුකරයට නිසා. ඒ නිසාම කඳුකරයට සම්බන්ධ පොත්පත් මන් කියවන්නේ හරිම ආසාවෙන්. ඒ අතර මොට්ටු පොත සුවිශේෂී උනේ ප්‍රේමයත් මුසුවුන කතාවක් නිසාම ය.

    මොට්ටු පෙරවදනත් හරිම ආදරණියයි.

    “පිපුණු තැන්වල පිපී මල් සුවඳ දෙන හැටි – අයිති නැතිවත් තුරුඅග පත් සිනාසෙන හැටි

    මකරන්ද මුදු සුළඟේ නුඹත් ඈ ගිය මගේ – යළිත් භවයක වසත් කාලයක් මුණ ගැසේ

    හිමිකමක් නොලබනා බැල්මක් ,නෙතු කැල්මක්

    අයිතියක කෙසඟක් වත් අහිමි වූ ස්පර්ශයක්

    ආදරයේ මුලකුරු ලියා


    හදවතින් පිටමන් කරවූ බර සුසුමක්එහි තිබිය හැකිද ප්‍රේමයක් තිබිය නොහැකි ද ප්‍රේමයක්…? “

    පෙරවදන කියවූ පසු කතාවේ සිදුවීම පිළිබඳ කතුවරිය විසින් කුඩා ඉඟියක් දුන්න ද කියන දේ මට දැනුණා. ප්‍රේමයක් කියන්නෙම අයිතියකට එහා ගිය පරිත්‍යාගයක්. අපි කෙනෙක්ට ඇත්තට ම ආදරේ නම් එයාව හිමි උනත්, නැතත් අපේ හදවතේ හැමදාමත් එයාගේ මතකය රැඳිලා තියෙනවා.

    අඳුරු ලෝකයෙන් එළිය ලැබූ පුංචි පහන් සිල

    කතාව ඇරඹෙන්නේම කඳුකරය පිළිබඳව පරිසර වර්ණනාවකින්. හැබැයි ඒ සුන්දරත්වය යටින් තියෙන අඳුරු ලෝකය ගැන ලෝකයා දන්නේ හරිම ස්වල්පය යි. වතුවල ජනපදවාසීන් තේ දල්ලක් සමගින් සටන් වදින්නේ තම එදිනෙදා බඩ වියත රැක ගැනීමේ අරමුණින් මිසක් දිනෙක විසල් සැපසම්පතක් විඳීමේ බලාපොරොත්තුවකින් නම් නෙමෙයි.

    මානි කියන්නෙත් ඒ අඳුරු ලෝකයෙන් එළිය ලැබූ පුංචි පහන් සිලක්. මවගේ මුළු ලෝකය ම වූ මානිගේ ජීවිතය උඩුයටිකුරු කරමින් සිදුවන සදාතනික සත්‍යයකට මානි මුහුණදෙන්නේ ඉමහත් කම්පනයෙන්. අවුරුදු 18ක දැරියකට දරාගත නොහැකි තරම් බරකින්, වගකීම් සමුදායකින්  ඇගේ ජීවිතය පිරී යන්නේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවකින් පාඨක සිත පුරවමිනි.

    “අම්මාගේ ප්‍රේමයේ කැණීමඬල සුනු විසුනු වී ගියකල්හි තම ලෝකයේ ප්‍රර්ථනා සියල්ල ම බිඳ වැටි ඇති බවත්, නවමු ප්‍රර්ථනා මතින් තමා ජීවත් විය  යුතු බවත්, ඒ කිසිවක් තබා තමාට ජීවත් වීමට කිසිම අරමුණක් නැති වග පමණක් රිද්මාට දැනුණා. තමාට තමා මිස කිසිවකු හිසට සෙවණැල්ලක් නොවන අරුමය ද ඇය දැනගෙන සිටියා.”

    පිටු අංක 65

    සිත පෙළු කාරණා

    මානි එලෙසින් තම ජීවිතය ගොඩ ගන්නට වෙර දරද්දී , නාගරික, කාර්යබහුල, මිනිසත්බව මියැදුණු නගරයේ සිට අගස්ති වලාකුළු නගරය ට සේන්දු වන්නේ ජීවිතය පිළිබඳ නැවුම් බලාපොරොත්තු රැසක් සිතේ ගොඩ නගාගනිමිනි. බැඳීම්වල ඇති ඝනත්වය සේම බැඳීම්වලින් ලැබෙන වේදනාව ද අගස්ති විඳින්නේ තම ජිවිතයේ සමීපතමයින්ගෙනි. වස්තු තණ්හාවෙන් තම ලේ බැඳීම්වලට ද්‍රෝහී වන සමාජයක නවම් අගස්තිට ශක්තියක් වන්නේ ලේ බැඳීමකින් පවා තොරව ය. ජීවිතය සේම බැඳීම් ද විටෙක ව්‍යකුලය. මකුළු දැලක් සේ ජීවිතය පටලවා අතරමන් කරන්නේ මිනිස් සිත අසරණ කරමිනි.

    විවාහයක් කියන්නේ නොදන්නා දෙදෙනකු එක් අයකු කරන, එක් බැම්මකින් යා කරන අපුරු ප්‍රේමනීය බන්ධනයකි. ජිවිතයට පැමිණෙන අභියෝග, බාධක මැදින් විවහා දිවිය ගලාගෙන යෑමට නම් සැමියා සහ බිරිඳ යන දෙදෙනාගේ ම අන්‍යොන්‍ය අවබෝධය, තේරුම් ගැනීම, විශ්වාසය යන කරුණු අත්‍යවශ්‍ය වේ. එම  විවහා ජීවිතය යා කරනා බැඳීම  යශෝදරා සහ අගහස් අතර තිබුණා ද? හිතුවක්කාර දරදඬු ගතිගුණවලින් යුතු යශෝදරාට අවැසි වූයේ නිදහස සහ සැපසම්පත් නම් අගස්තිගේ පියාගේ යෝජනාවට කැමති වුයේ ඇයි? සොබාදහමට ඇලුම් කළ, කලාකාමී සිතකට උරුමකම් කි අගස්තිට ඊට හාත්පසින්ම විරුද්ධවූ ගතිලක්ෂණවලින් හෙබි යශෝදරා ගැන පියා ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප කළ නොහැකි වුයේ ඇයි යන්න මොට්ටු කියවාගෙන යෑමේ දී මගේ සිත පෙළු කාරණා ය.

    ගැටලුවක් වූ සැණින් සියල්ල අත්හැර හපුතලේට පැමිණීම තරමක අභව්‍ය ක්‍රියාවක් බව මට දැනුණේ අගහස් ඒ සම්බන්ධව තම දෙමව්පියන් සමග කිසිදු කතාබහකට ඉඩ නොතැබීම නිසා ය. තම පියාගේ මැදිහත්වීමෙන් සිදුවූ මෙම විවාහය තුළ දී ඇතිවන ගැටුම් පිළිබඳව අගහස් කිසිදු විටක දෙමව්පියන් ව දැනුවත් නොකිරීම අපැහැදිලි කරුණකි.  විශේෂයෙන් ම දාරක සෙනේහයෙන් පිරුණු අම්මා කෙනෙක් වූ ජයසේකර මහත්මියට යශෝදරාගේ හැසිරීම් සහ පිළිවෙත් පිළිබඳව අගහස් විසින් නොකිව්වේ මන්ද? මොවුන්ගේ සිතුවිලි පවා අන්ත දෙකක පැවති අතර ප්‍රේමයකින් තොර විවහා බන්ධනයකට යාම ම ඛේදජනක සිදුවීක් බව කෘතිය පුරා ම ගලාගෙන යන තිත්ත ඇත්තයි.

    peradeniya flower

    “පේරාදෙණිය උද්හිද උද්‍යානයේ දිනක් ඈ හා නැරඹීමට ගිය අගස්තිට එදත් සිදු වුයේ එවැනිම දෙයක්. මල් වත්තක ඇති විශේෂත්වය හා ඔවුන් දෙදෙනා අතර ඇති සබඳතාවය සම්බන්ධ වන්නේ කෙසේදැයි යශෝදරා එදා අගස්තිගෙන් මුණටම ඇහුවා.”

    පිටු අංක 117

    කාව්‍යාත්මක ගලා යෑමක්

    කතාව පුරා ගලාගෙන යන සරල බස, පරිසරයෙන් සහ සොබාදහමින් ගෙන හැර දක්වන නිදසුන් කතාවට අපුරු සුන්දරත්වයක් එක් කරන්නේ කතාවේ ගලායෑම මඳකට සිතෙන් ඈත් කරවිමිනි.  කඳුකරයේ නිදහස් නිවහල් හාවය විටෙන් විට අගහස්ගේ ජීවිතයට චාරිකා සම්බන්ධ කරන්නේ අපුරුවත්වයකින් යුතුව යි.  කඳුකරයට පෙම් බඳින අගහස් ගේ මියැදුණු ප්‍රාර්ථනා සහ බලාපොරොත්තු කෙමෙන් වැඩෙන තේ දල්ලක් මෙන් දිනෙන් දින වැඩෙන්නේ ඔහුගේ අනාගතය අලෝකමක් කරමිනි.

    ජීවිතය අප්‍රසන්න කළ බැඳීම් අතරේ නවම්, සියදෝරිස් , සුදු නෝනේ ඔහුට අතිශයින්ම හිතවත්, දාරක සෙනෙහස ලබාදෙන සොඳුරු බැඳීම්වල එකතුවකි. අප සෑම කෙනකුගේ ම ජීවිතවල යථාර්ථය එය යි; සැබෑ ප්‍රේමය එය යි.

    අපුරු කාව්‍යාත්මක ගලා යෑමකින් යුතු මොට්ටු ළගන්නාසුලු බසකින් යුක්තය. එක හුස්මට කියවාගෙන යෑමට පාඨකයාව පොලඹවන රිද්මයනුකුල බවකින් මොට්ටු සමන්විත ය. පොතේ පිටකවරයේ ද ඉතා සුවිශේෂිබවක් ඇත. කෝච්චි පාරක අතිනත ගෙන පියමනින තරුණ පෙම්වතුන් යුවළකින් කවරය අලංකාරව ඇත.  කෝච්චි පාරක් යනු කිසිදා එක් නොවන මාවතකි. මින් ගම්‍යමාන කරන්නේ අගහස් ගේ සහ යශෝදරාගේ ගමන ද, නැතහොත් අගහස් ගේ සහ මානිගේ ගමන ද යන්න කුතුහලයකින් යුක්තව පාඨක මනසේ විද්‍යමාන කිරීමට තරම් පොත කියවා රසවිඳීමේ දී ගෙනහැර පාන ප්‍රභල සංකේතයක්  වේ. පිට කවරය දුටු සැණින් මට සිහිපත් වුයේ නව පරපුරේ දක්ෂ නිර්මාණකරුවකු වන අබ්දුල් උමාර් සහන් නෙත්මිණ රචිත ” ඉතින් මට සමාවෙන්න” කාව්‍ය සංග්‍රහයේ එන

    “බැරිම හින්දා කවමදාවත්

    ආයේ ඔබ වෙත හැරෙන්න

    කිසිත් කියන්න බෑ ඉතිං මට,

    සමාවෙනු මැන ඇරෙන්න


    ජිවිතේ තව බොහෝ දුර ඇති

    අතරමග බෑ හැරෙන්න

    ඔබත් ඔහොමම මගදී හමුවන

    වංගුවක් ළඟ හැරෙන්න. කාව්‍යයි.”

    “ජීවිතය කියන්නේ තමා විසින් ලියාගත යුතු කතාවක්.කොපමණ දුක්ඛදෝමනස්ස තිබුණත් සංතෘප්තියේ උපරිමය තිබුණත් තමා විසින් ජීවිතය ජිවත් කළ යුතු බව රිද්මානි දැනගෙනයි උන්නේ. තමාට දිරියක් වීමට හෝ ශක්තිය බිඳලන බාධකයක් වීමට තරම් වත් තමා වෙත කිසිවකු නැති වග ඈ සිතුවා ය”

    “ජීවිතය කියන්නේ තමා විසින් ලියාගත යුතු කතාවක්.කොපමණ දුක්ඛදෝමනස්ස තිබුණත් සංතෘප්තියේ උපරිමය තිබුණත් තමා විසින් ජීවිතය ජිවත් කළ යුතු බව රිද්මානි දැනගෙනයි උන්නේ. තමාට දිරියක් වීමට හෝ ශක්තිය බිඳලන බාධකයක් වීමට තරම් වත් තමා වෙත කිසිවකු නැති වග ඈ සිතුවා ය”

    පිටු අංක 187

    කාලයත් සමග සටන් වදින අපි

    අප කෙදිනක හෝ මුහුණදෙන යථාර්ථය චාරිකා විසින් කතාව පුරා ම චිත්‍රණය කරන්නේ ඉතා ළගන්නාසුලුව ය. මොහිදින් බෙග් ගායනා කළ “තනිවයි උපන්නේ… තනිවයි මැරෙන්නේ…  ගීතය සිතට ආවේ නිතැතිනි. කෙදිනක හෝ අප ජිවිතයේ දී තනිවේ. එදිනට අපට සිටින්නේ අප පමණයි. ලෝකය අප වටා කක්ෂගත නොවන අතර අප පෙම් කරන බැඳීම්වලට ජීවන අරගලය, ආර්ථික ගැටලු, ඔවුනොවුන්ගේ ගලාගෙන යන ජිවිතවල ඇති සංකීර්ණතා සේම ඔවුනොවුන්ට උරුම ඔවුන්ගේම සටන් වෙනුවෙන් පොරබදින්නට සිදුවන අවස්ථා දිනෙන් දින වැඩිවේ. එවිට කොතරම් සෙනෙහසකින් අප වටා සිටියත් අප සහ ඔවුන් අතර සීමාවක් ඇතිවේ. මන්ද අපි සැවොම කාලයත් සමග සටන් වදින අය බැවිනි. නමුත්… මොන තරම් දුරස්වීම් තිබුණ ද අපට සවියක් අවශ්‍ය තැනදී අප වෙනුවෙන් පෙනී සිටින නවම් බඳු දුර්ලභ මිතුරන් ජීවන ගමනේ දී ඉඳ හිට හමුවේ. එවන් මිතුරෙකු හමුවන්නේ ම සංසාරගත බැඳීමක් නිසා වන්නට පුළුවන. නවම් යනු එවන් විසල් කැපකිරීමක් අගහස් වෙනුවෙන් කිරීමට සැදී පැහැදී සිටින අමිල මිතුරෙකි.

    අප  වයසින් කොතරම් පරිණත වුව ද අපේ හදවත තුළ කුඩා දරුවකු සැඟවී සිටි. අප ගෙවෙන ජීවිතයේ දී වරින්වර එම කුඩා දරුවා අප තුළින් මතුවන්නේ අපට සෙනෙහබර, ළබැඳියන් අසල දී පමණි. එලෙස අගහස් තුළ සැගව සිටින කුඩා දරුවා සියදෝරිස් සහ නවම් අසල දී මතුවෙන ආකාරය මොට්ටු තුළ දී අපට විටින් විට දකින්නට ලැබේ.

    “අපි හැමෝම හරි ලාමක හිත් ඇත්තෝ තමයි නවා.අපේ ජිවිත ඇතුලේ මේ හැම චරිතයක්ම ජීවත් වෙනවා. ඒත් අපි නඩත්තු කරන්නේ අපිට අත්‍යවශ්‍යම චරිත විතරයි බං. කවදාවත් අපි අපිට ඕනි චරිතය ගොඩ නගන්නේ නෑ. කාටහරි උවමනා චරිතය ඒ ඒ අවස්ථාවට අනුව ගොඩ නැගෙනවා. රඟපානවා එච්චරයි.”


    පිටු අංක 191.

    ආකර්ෂණය අඩුවීම සහ බැඳීම් දුරස් වීම

    මින් විදාරණය ජීවන යථාර්තය අපුර්වය. අපට අප විදියට ජිවත් වීමට හැකියාව ලැබෙන්නේ, අපව, අපේ ගතිගුණ, අපේ හැඟීම්, අප කැමති අකමැති දේ හොඳින් තෙරුම් ගත් පිරිස සමගින් පමණි. මානව සම්බන්ධතාවල දී අත්‍යවශ්‍ය ම කරුණ වන්නේ එකිනෙකා අතර ඇති අන්‍යොන්‍ය අවබෝධය සහ තේරුම් ගැනීමයි. නැතහොත් සම්බන්ධතා කැඩී විසිරි යයි. එය අපි සැවොම මුහුණ දෙන ජීවන යථාර්ථයකි.  

    ජීවිතයේ සමහර දේවල් දිහා ඈතින් ඉදන් බලද්දී හරිම ලස්සනයි. සමහර පුද්ගලයින්ට උනත් ඒ හැඟීම ඒ විදියටම බලපානවා. ළඟට ගත්තොත් බැඳීම් දුරස් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද දුර ඉද්දි අපිට ඔවුනොවුන් කෙරෙහි දකින, දැනෙන අඩුපාඩු, දුර්වලකම් පෙන්නේ , දැනෙන්නේ ගොඩක් අඩුවෙන්. හැබැයි ළං වෙන්න, ළං වෙන්න අප අතර ඇති නොගැළපීම්, පේන්න පටන් ගන්නවා. ඒ එක්ක ඔවුන් අතර ඇතිවන  ගැටුම්, සිත් රිදීම්, සිත් බිඳීම්වලට මුහුණ දෙන්න වෙනවා. එකිනෙකා කෙරෙහි තිබුණු ආකර්ෂණය අඩුවෙලා බැඳීම් දුරස් වෙන්න ගන්නවා. අන්තිමට යථාර්තය වෙන්නේ ළං නොවී ඈතින් හිටියා නම් ඔවුන් තවමත් අපි ළඟ නේද කියන හැඟීමෙන් මිනිසුන් පෙළීම යි.

    ඒ යථාර්ථය සිරිදොරිස් අගස්තිට හරිම ලස්සනට මොට්ටු පොතේ එක තැනකදී පහදලා දෙනවා

    “සපුමල් කවදාවත් කඩන්න බෑ මහත්තයෝ. ඒවායේ ලස්සන බලන්න බිමට වැටෙනකල් ම ඉන්න ඕනි. හරියට මැයි මාර මල් වගේ .ඒත් එහෙමයි මහා රූස්ස ගස්වල ඉහළම අත්තේ නොවැ හැදෙන්නේ. මනුස්ස අතකට ළං වෙන්න බැරි තරම් දුර. ඒකෙත් හැටි. කොච්චර නම් ලස්සන මල් වුණත් බිමට වැටිලා දැක්කොත් ඇරෙන්න කඩනවා බොරු.”

    පිටු අංක 211

    මනුෂ්‍ය ජිවිතයේ කුඩා තැන් ගැඹුරින් ස්පර්ශ කරමින් මොට්ටු නව කතාව මිදුම් වලා මැදින් අපිව අපුරු චාරිකාවක් ගෙන යන්නේ ප්‍රේමයේ මිහිර, විරහව ,වියෝ වේදනාව ,වෛරය ත්‍රාසය යන පංච රසය අපට දනවමිනි. මෙම චාරිකාවේ අවසානය කුමක් වෙයි ද, අගහස්ට සිතට දැනුන ප්‍රේමය ඉටු කර ගත හැකි වෙයිද? රිද්මානිගේ අනාගතය කොයි අතකට පෙරළෙයි ද? ඔබට පොත කියවා රසවිඳින්නට සෙනෙහසින් ආරාධනා කරමි.

    (සටහන | නිලක්ෂි බණ්ඩාර)
    නිදහස් ලේඛිකා

    [email protected]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here