ශ්‍රී ලංකා තේ රස බැලීමේ ඉතිහාසය අලුත් කළ නුවනි දිසානායක – තේ රස බැලීමේ ශූරතාවක් දිනූ ප්‍රථම ශ්‍රී ලංකා කාන්තාව බවට පත්වෙයි!

0
28

මෙම ඓතිහාසික ජයග්‍රහණය හිමි වූයේ තේ අපනයනකරුවන්ගේ සංගමයේ (TEA) වාර්ෂික මහා සභා රැස්වීමට සමාන්තරව, කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගිය සැප්තැම්බර් 4 වන දින පැවති තේ රස බැලීමේ තරගයේදීය. ඉතා සීමිත කාලයක් තුළ තේ සාම්පලවල සුවඳ, රසය, ප්‍රබලතාව සහ අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීමේ හැකියාව මෙම තරගයේදී දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි.

තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය, ස්වභාවය සහ වටිනාකම තීරණය කිරීම සඳහා තේ රස බැලීම අත්‍යවශ්‍ය අංගයකි. වෘත්තීය තේ රස බැලුම්කරුවන් තේ සාම්පලවල වර්ණය, සුවඳ, රසය, ප්‍රබලතාව සහ පසු රසය ඉතා සැලකිල්ලෙන් තක්සේරු කරති. අවසාන නිෂ්පාදනයේ අනුක්‍රමිකතාව පවත්වා ගැනීමට සහ තේ මිශ්‍රණයන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ විශේෂඥ දැනුම අතිශයින් වැදගත් වේ. රසයෙහි සහ සුවඳෙහි සුළු වෙනස්කම් පවා තේවල ගුණාත්මක භාවයට හා වෙළඳපල වටිනාකමට බලපාන බැවින්, තේ රස බැලීමට දැඩි සංවේදන කුසලතා, ඒකාග්‍රතාව සහ අත්දැකීම් අවශ්‍ය වන අතර, එය ඉතා ඉහළ විශේෂඥතාවක් අවශ්‍ය කරන වෘත්තියකි.

‘අන්වර් අලි සහ සමාගම’ (Anverally & Sons) හි තේ රස බැලුම්කාරිනියක සහ ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිනියක ලෙස කටයුතු කරන නුවනි දිසානායක, තේ කර්මාන්තයට පිවිසියේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්ම ව්‍යවසායකත්වය පිළිබඳ උපාධියක් සම්පූර්ණ කිරීමෙන් පසුවය. ෆින්ලේස් කොළඹ (Finlays Colombo) ආයතනයේ පුහුණු තේ රස බැලුම්කාරිනියක ලෙස වසර හතකට ආසන්න කාලයක් සේවය කරමින් ඇය තම ඇස්, නාසය සහ දිව නිවැරදිව භාවිත කර තේ තක්සේරු කිරීමේ හැකියාව තවදුරටත් ඔප් නංවා ගත්තාය.

ඇයගේ මෙම වෘත්තීය ගමන සාර්ථක කරගැනීම සඳහා නිශාන් වික්‍රමරත්න, දිවංගත විදානගමගේ ජයතිලක, තිලංක දිසානායක සහ රොමේෂ් මොරයිස් වැනි අත්දැකීම් බහුල කර්මාන්ත ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම විශාල රුකුලක් විය. මීට අමතරව, ‘අන්වර් අලි සහ සමාගම’ හි කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් අන්වර් අලි, තේ අංශයේ ප්‍රධාන කළමනාකරු හරේන්ද්‍ර කිරිදෙන සහ විකුණුම් පිළිබඳ ප්‍රධාන කළමනාකරු ධාරණී ජයවර්ධන යන මහත්ම මහත්මීන්ගේ උනන්දු කරවීම සහ සහයෝගය ද මෙම තරගයට සහභාගී වීමට ඇයට මහත් ශක්තියක් විය.

නුවනි දිසානායකගේ මෙම ඓතිහාසික ජයග්‍රහණය තේ කර්මාන්තයේ නියැලී සිටින ශ්‍රී ලංකීය කාන්තාවන්ගේ දක්ෂතාව, කැපවීම සහ වෘත්තීය හැකියාවන් මැනවින් පෙන්නුම් කරයි. පිරිමින්ගේ ආධිපත්‍යය පැවති වෘත්තීය ක්ෂේත්‍රවල පවා දැඩි උත්සාහය, විනය සහ අඛණ්ඩ ඉගෙනීම මඟින් නව මාවත් විවර කරගත හැකි ආකාරය ඇයගේ ජයග්‍රහණයෙන් මනාව පැහැදිලි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here