ලංකා බැංකුව මේ රටේ තරුණ ව්‍යවසායකත්වය නැංවීම වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය ඉතා වටිනවා

0
24

රටක ව්‍යවසායකත්වය පෝෂණය කිරීම දේශීය ආර්ථිකය නැංවීම සඳහා අත්‍යවශ්‍ය කරුණකි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මෙම ජාතික කර්තව්‍යය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන රාජ්‍ය ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකිය. එමෙන්ම මෙරට ව්‍යවසායකත්වය නැංවීම සඳහා මූල්‍ය ශක්තිය ඇතුළුව සුවිශේෂී සහයෝගයක් ලබාදෙන ආයතනයක් ලෙස ලංකා බැංකුව හඳුන්වා දිය හැකි අතර, මෙම ආයතන ද්විත්වය මෙරට ව්‍යවසායකත්වය බලගැන්වීම වෙනුවෙන් සිදු කරන සේවය පිළිබඳව තොරතුරු දැන ගැනීමට අපි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර සමඟ සාකච්ඡා කළෙමු.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව රටාව පිළිබඳව ඔබගේ අදහස කුමක් ද ?

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අංශය රටේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ක්ෂේත්‍රයක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ඒ වගේම රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී මෙම ක්ෂේත්‍රය හරහා සම්පූර්ණ කර ගත හැකි ඉලක්ක රාශියක් තිබෙනවා. අවම වශයෙන් රටක ව්‍යවසායකයන්ගෙන් 10%ක් වත් ව්‍යවසායකයන් වීම ආර්ථිකයට ඉතා හිතකර තත්ත්වයක්. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මෙම ඉලක්ක සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ඉතා වෙහෙස වෙමින් කටයුතු කරනවා. විශේෂයෙන් ආරම්භක මට්ටමේ ව්‍යවසායකයන්ට තිබෙන ප්‍රධානතම ගැටළුවක් තමයි මූල්‍ය ශක්තියක් නොමැති කම. එම නිසාම මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මූල්‍ය ශක්තිය ඉතා වැදගත්. ව්‍යාපාර දියුණු කිරීම සඳහා මූල්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් රටේ බැංකු පද්ධතියට විශාල වගකීමක් පැවරී ඇති බව සිහිපත් කළ යුතුමයි.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය නැංවීමට ලංකා බැංකුව ලබාදෙන සහයෝගය ඔබ දකින්නේ කොහොම ද ?

ලංකා බැංකුව ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වය බල ගැන්වීම වෙනුවෙන් ලබාදෙන සහයෝගය අගය කළ යුතුයි. මම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය ආශ්‍රිත රාජ්‍ය ආයතන කිහිපයකම නියාමන කටයුතු සිදු කරන නිසාම එම ආයතන සමඟ ඉතා සමීපයෙන් කටයුතු කරමින්, ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වය බල ගැන්වීම වෙනුවෙන් ලංකා බැංකුව ඉටු කරන සේවාව පිළිබඳ අවබෝධයක් තිබෙන බව පැවසිය යුතුමයි. ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කුඩා ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, අපනයන සංවර්ධන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් සමඟ ලංකා බැංකුව සමීපව කටයුතු කරමින්, ව්‍යවසායකයන් බල ගැන්වීම ප්‍රශංසනීයයි. පසුගිය වකවානුව තුළ ආරම්භක මට්ටමේ ව්‍යවසායකයන්ට ලංකා බැංකුවෙන් ලබාදුන් සහයෝගය අපි නිරන්තරයෙන් අගය කරනවා. ඉදිරියේ දීත් ලංකා බැංකුව ලබාදෙන සහයෝගය අඛණ්ඩව ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

තරුණ ව්‍යවසායකත්වය බල ගැන්වීම වෙනුවෙන් ලංකා බැංකුව හඳුන්වා දුන් BOC Youth ණය යෝජනා ක්‍රමයේ පළමු අදියරේ සාර්ථකත්වය 96%ක්. ඒ වගේම එහිදී බස්නාහිරින් පිට පළාත් ආශ්‍රිත තරුණ ව්‍යවසායකයන් වෙත ණය ලබාදීමේ ප්‍රතිශතය 91%ක්. මේ වන විට එහි දෙවන අදියරත් ආරම්භ වී තිබෙනවා. BOC Youth ණය යෝජනා ක්‍රමය පිළිබඳව ඔබගේ අදහස ?

ඇත්ත වශයෙන්ම මූල්‍ය ශක්තියක් නොමැති කම නිසා බොහෝ ව්‍යාපාර යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකිව සිටින තරුණ තරුණියන් සංඛ්‍යාව අති විශාලයි. යම් අවදානමක් පැවතුණත්, තරුණ ව්‍යවසායකයන්, විශේෂයෙන් ආරම්භක මට්ටමේ ව්‍යවසායකයන් වෙත සහයෝගය ලබාදීමට ලංකා බැංකුව ගත් තීරණය මම අගය කරනවා. ව්‍යාපාරය දියුණුව සඳහා යම් ණයක් ලබාගැනීමේ දී දැරිය නොහැකි මට්ටමේ සුරැකුමක් ඉදිරිපත් කළ යුතු වීම ආරම්භයේ දීම ඔවුන් අධෛර්යමත් කිරීමක් විදියට මම දකිනවා. නමුත් ඉතා ලිහිල් ප්‍රතිපත්තියක් හා තරඟකාරී පොලී ප්‍රතිශතයක් යටතේ තරුණ ව්‍යවසායකයන් වෙත ණයක් ලබාදීමට ලංකා බැංකුව කටයුතු කිරීම ප්‍රශංසනීයයි. අපගේ මූලික ඉලක්කය වී ඇත්තේ මේ වසරේ දී නව ව්‍යවසායකයන් 1000ක් බිහි කිරීමයි. එම ඉලක්කය කරා ගමන් කිරීමේ දී ලංකා බැංකුවේ BOC Youth ණය යෝජනා ක්‍රමය අපට මහත් ශක්තියක් බව පැවසිය යුතුමයි. එම නිසා BOC Youth ණය යෝජනා ක්‍රමය ඉතා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අපගේ සියළුම ආයතන හැකි උපරිම සහයෝගය ලබාදෙන බව පැවසිය යුතුමයි.

අපනයන ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා BOC Export Circle ලබාදෙන සහයෝගය පිළිබඳව අදහස් දැක්වුවොත් …

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපනයන ක්ෂේත්‍රය ලබාදෙන සහයෝගය සුළු පටු නැහැ. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 84ක්. ඒ අතරින් අපනයන හරහා ආවරණය වන්නේ රුපියල් බිලියන 16ක් පමණයි. 2030 වසර වන විට මෙම අපනයන ආදායම රුපියල් බිලියන 28ක් බවට පත් කර ගැනීම අපගේ ප්‍රධාන ඉලක්කයක්. එය විශාල අභියෝගයක් බව පැවසිය යුතුමයි. නමුත් අපනයනකරුවන් වෙත මූල්‍ය සහයෝගයට අමතරව උපදේශනය ඇතුළු සේවා රාශියක් ලබාදෙමින් අපනයනකරුවන් බල ගැන්වීම, අපනයන ක්ෂේත්‍රය ආශ්‍රිත ව්‍යවසායකයන්ට මෙන්ම සමස්ත අපනයන ක්ෂේත්‍රයට ඉතා වටිනා උත්තේජනයක් බව පැවසිය යුතුමයි.

අවසාන වශයෙන් රටේ තරුණ පරපුර වෙත ඔබ ලබාදෙන පණිවුඩය කුමක් ද ?

මා පෙර කියූ පරිදි රටක් දියුණු කිරීමට නම් ශ්‍රම බලකායෙන් අවම වශයෙන් 10%ක් වත් ව්‍යවසායකයන් විය යුතුයි. නමුත් ශ්‍රී ලංකාවේ දනට පවතින ව්‍යවසායකත්වය 3.2%ක් පමණයි. මෙම අභියෝගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය රැකියා සොයා යන පිරිසක් නොවී, රැකියා නිර්මාණය කරන පිරිසක් බවට පත් විය යුතුයි යන්න මගේ අදහසයි. එම නිසා ව්‍යාපාරයක් ආරම්භ කරමින් ව්‍යවසායකත්වය වෙත යොමු වෙන්න කියා මම මේ රටේ සමස්ත තරුණ පරපුරට ආරාධනය කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය පූර්ණ සහයෝගය සහ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සූදානම්. ඊට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබාදීමට ලංකා බැංකුව නිරන්තරයෙන්ම කටයුතු කරන බව මම විශ්වාස කරනවා.

divaina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here