ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල දෙවැනි 20-20 ක්‍රිකට් තරගයත් ජය ගනියි

0
35

මේ සමඟ තරග 4කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඊයේ කොළඹ තර්ස්ටන් පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 126ක ඉලක්කය හමුවේ බංග්ලාදේශයට ඕවර 12.2කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 60ක් පමණි.

සාඩියා අක්ටර් ලකුණු 18ක් රැස් කරමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, ෆර්ජනා ඉස්මින් නොදැවී ලකුණු 10ක් රැස් කළාය. සෙසු පිතිකාරිනියන්ට ලකුණු 10 සීමාවට පිවිසීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබිණි.

පන්දු යැවීමේදී චමෝදි ප්‍රබෝදා සහ අසේනි තලගුණේ කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර, ලිමංසා තිලකරත්න කඩුලු 2ක් දවා ගත්තාය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 2 ලකුණු 2ක් තුළ බිඳ වැටුණද අංක 4 පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි නායිකා මනුදි නානායක්කාර අර්ධ ශතකයක් රැස් කරමින් ඉනිම ලකුණු 100 සීමාවෙන් එපිටට රැගෙන යෑමට මඟ සකස් කළාය. පන්දු 45කදී හතරේ පහර 5කින් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කරගත් ඇයට අනගි සහායක් දුන් දහමි සෙනෙත්මා (25) තෙවැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩනැඟූ අතර, දහමි ලකුණු 24ක් රැස් කළාය. 5 වැනි කඩුල්ලට එක් වූ රශ්මිකා සෙව්වන්දි සහ සුමුදු නිසංසලා පන්දු 14කින් වේගවත් ලකුණු 26ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැඟූ අතර, රශ්මිකා පන්දු 22කින් ලකුණු 27ක් සහ සුමුදු පන්දු 8කින් ලකුණු 13ක් රැස් කළහ. පන්දු යැවීමේදී නිෂිතා අක්ටර් කඩුලු 2ක් දවා ගත්තාය.

දෙපිල අතර තෙවැනි විස්සයි20 තරගය හෙට (8) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල – 125/4 (ඕවර 20) මනුදි නානායක්කාර 50, රශ්මිකා සෙව්වන්දි නොදැවී 27, දහමි සෙනෙත්මා 25, සුමුදු නිසංසලා නොදැවී 13 (නිෂිතා අක්ටර් 7/2)

බංග්ලාදේශ 19න් පහළ කාන්තා පිල – 60 (ඕවර 12.2) සාඩියා අක්ටර් 18, ෆර්ජනා ඉස්මින් නොදැවී 10 (චමෝදි ප්‍රබෝදා 13/3, අසේනි තලගුණේ 14/3, ලිමංසා තිලකරත්න 14/2).

නිරෝෂාන් ප්‍රියංකර  – dinamina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here