විවාහය තුළ බැහැ කියන්න අයිතියක් නැති කාන්තාවන් – එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෝලීය යථාර්ථයක් හෙළිදරව් කරයි

    0
    20

    කලාපීය වශයෙන් ගත් කල මෙම අර්බුදය ඉතා තීව්‍ර මුහුණුවරක් ගෙන තිබේ. බටහිර සහ මධ්‍යම අප්‍රිකානු කලාපයේ කාන්තාවන්ගෙන් සියයට 45කට ආසන්න පිරිසකට සිය විවාහ ජීවිතය තුළ “බැහැ” යැයි පැවසීමේ මූලික අයිතිය පවා අහිමි වී ඇත. එමෙන්ම, නැගෙනහිර හා දකුණු අප්‍රිකානු රටවල මෙන්ම අරාබි කලාපයේ සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම (සියයට 33ක්) මෙම පීඩාවට ගොදුරු වන අතර, ලතින් ඇමරිකාව සහ කැරිබියානු කලාපයේ කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට තම අකමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොමැති බව එම දත්ත පෙන්වා දෙයි.

    ඇන්ගෝලාව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කසකස්තානය, මලාවි, මාලි, නයිජීරියාව, ටජිකිස්තානය සහ සැම්බියාව යන රටවල් අටක දත්ත ඇසුරින් සිදු කළ විශ්ලේෂණයකින් හෙළි වී ඇත්තේ, වයස අවුරුදු 45ත් 49ත් අතර වැඩිහිටි කාන්තාවන්ට සාපේක්ෂව වයස අවුරුදු 15ත් 19ත් අතර යොවුන් දැරියන්ට තම අකමැත්ත පළ කිරීමට ඇති ඉඩකඩ ඉතා අවම බවයි. එපමණක් නොව, සමීපතම සහකරුවන් අතින් වැඩිපුරම ප්‍රචණ්ඩත්වයට ලක්වන්නේ ද මෙම යොවුන් වියේ දැරියන් බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ.

    අප්‍රිකානු මහද්වීපයම කාන්තා අයිතීන් සුරකින ‘මාපුටෝ ප්‍රඥප්තිය’ (Maputo protocol) පිළිගෙන තිබියදීත් මෙවැනි තත්ත්වයක් පැවතීම අතිශය කනගාටුදායක බව ‘Equality Now’ මානව හිමිකම් සංවිධානයේ නීතිඥ ජීන්-පෝල් මුරුන්ගා පවසයි. විවාහය යනු ස්ථිර ලිංගික අවසර පත්‍රයක් නොවන බවත්, නිදහස් කැමැත්තකින් තොරව සිදුවන ඕනෑම ලිංගික එක්වීමක් ලිංගික ප්‍රචණ්ඩත්වයක් බවත් ඔහු අවධාරණය කරයි.

    එහෙත් අයිවරි කෝස්ට්, ඉතියෝපියාව සහ දකුණු සුඩානය ඇතුළු රටවල් හතක, විවාහය තුළ සිදුවන බලහත්කාරකම් අපරාධයක් ලෙස නීතියෙන් පිළිගන්නේ නැත.

    ටැන්සානියාව සහ එරිත්‍රියාව වැනි රටවල මෙය වරදක් ලෙස සැලකෙන්නේ අඹුසැමියන් නීත්‍යානුකූලව වෙන්ව ජීවත් වන්නේ නම් පමණි. තවද, ළමා විවාහ නීත්‍යානුකූල වී ඇති ඇතැම් රටවල දැරියන්ට කිසිදු නීතිමය රැකවරණයක් නොමැති අතර, ගැබොන් රාජ්‍යයේ යම් පුද්ගලයෙකු පැහැරගත් දැරියක විවාහ කරගතහොත්, එම විවාහය නීතියෙන් අවලංගු කරන තුරු ඔහුට එරෙහිව නඩු පැවරීමට පවා නොහැකි තත්ත්වයක් පවතී.

    විවාහ වූ පසු බිරිඳ සැමියාට ස්ථිර කැමැත්තක් ලබා දී ඇතැයි යන වැරදි සමාජ මතය මෙම නීති පිටුපස පවතින අතර, ඇතැම් ප්‍රදේශවල ආගමික විශ්වාසයන් මගින් ද මෙම අදහස තවදුරටත් පෝෂණය කරයි.

    සියෙරා ලියොන්හි යොවුන් දැරියන් වෙනුවෙන් පෙනී සිටින ‘A Girl At A Time’ සංවිධානයේ නිර්මාතෘ අලිමාටු ඩිමොනෙකේන් පෙන්වා දෙන්නේ, විවාහය තුළ කැමැත්ත පිළිබඳ සංවාදයක් අප්‍රිකානු සමාජය තුළ තවමත් ආරම්භ වී නොමැති බවයි.

    බටහිර අප්‍රිකානු සමාජය තුළ විවාහයේදී මනාලියගේ පවුලට මුදල් හෝ දේපළ ගෙවීමේ සම්ප්‍රදාය (Bride price) නිසා බිරිඳ සැමියාගේ දේපළක් බවට පත්වන අතර, ඉන් පසුව සැමියාගේ කිසිදු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට ඇයට අවසර නොලැබේ. මෙම සමාජ වටපිටාව හේතුවෙන් තමන්ට සිදුවන ලිංගික බලහත්කාරකම් අපරාධයක් ලෙස හැඳින්වීමට පවා බොහෝ කාන්තාවන් මැලි වන අතර, ඒ වෙනුවට ඔවුන් නිදහසට කරුණු සොයමින් හෝ තමන්ටම දොස් පවරා ගනිමින් නිහඬව පීඩා විඳීමට පෙළඹී සිටිති.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here