කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදයි!

0
11


කාන්තාවන්ට එරෙහි හිංසනය තවමත් ලෝකය පුරා ඉතා භයානක මට්ටමක පවතින බව යුනෙස්කෝ සංවිධානය නිකුත් කළ නවතම දත්ත මගින් තහවුරු වේ. 2024 වසරේ දත්තවලට අනුව, ලොව කොතැනක හෝ සෑම මිනිත්තු 10කට වරක්ම කාන්තාවක් තම සහකරු හෝ පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනයට ලක් වන අතර, එය දිනකට ජීවිත 137ක් අහිමි වීමකි.

එමෙන්ම, ලොව පුරා සිටින සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම එනම් ඇස්තමේන්තුගත කාන්තාවන් මිලියන 840ක් සිය ජීවිත කාලය තුළ කායික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයකට ගොදුරු වී තිබේ. විශේෂයෙන්ම ගැටුම් පවතින කලාපවල වාර්තා වූ ලිංගික ප්‍රචණ්ඩත්ව සිදුවීම් 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී 100%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ඩිජිටල් අවකාශය තුළ සිදුවන හිංසනයන් ද ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. ඒ අනුව, ගැහැණු ළමුන් සහ තරුණ කාන්තාවන්ගෙන් 58%ක් අන්තර්ජාලය ඔස්සේ හිංසනයට ලක්ව ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ඊට මුල් වරට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 14ත් 16ත් අතර කාලයේදී වීම විශේෂත්වයකි.

අද (නොවැම්බර් 25) සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ක ක්‍රියාකාරී වැඩසටහනට ශ්‍රී ලංකාවද ඇතුළු සමස්ත ලෝකයම සක්‍රීයව එක්ව සිටී. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ UNiTE 2026 ව්‍යාපාරයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන මෙමගින්, හිංසනයට ලක්වූවන්ට යුක්තිය ඉටු කිරීම, ඔවුන් ආරක්ෂා කිරීම සහ වැරදිකරුවන්ට දඬුවම් නොලැබී යාමේ සංස්කෘතිය අවසන් කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි.

වඩාත් ශක්තිමත් නීති පද්ධති ස්ථාපිත කිරීම, වින්දිතයන් කේන්ද්‍ර කරගත් සේවාවන් පුළුල් කිරීම මෙන්ම ප්‍රචණ්ඩත්වය පෝෂණය කරන අහිතකර සමාජ මතවාද සහ ඒකාකෘති වෙනස් කිරීම සඳහා සමස්ත ලෝක ප්‍රජාවම එක්ව කටයුතු කළ යුතු බව මෙමගින් අවධාරණය කර සිටී.

මෙවර ශ්‍රී ලංකාවේ ජාතික තේමාව වන්නේ මෙයයි. මේ යටතේ වන ජාතික වැඩසටහන අද සිට දෙසැම්බර් 10 දා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් විසින් නිලවශයෙන් මාධ්‍ය වෙත තහවුරු කර තිබේ. ඒ අනුව අද සිට මෙම ක්‍රියාකාරී වැඩසටහන සක්‍රීයව ආරම්භ වනු ඇති.

VOW.lk ෆේස්බුක් පිටුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here