ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ දින 16ක ජාතික වැඩසටහන හෙට (නොවැම්බර් 25) සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කළාය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව අනාවරණය කළාය.
“යුක්තිය මගේ අයිතියයි… එක්ව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය නවතමු”
යන ජාතික තේමාව යටතේ මෙවර වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
කාන්තාවන්ට, දැරියන්ට සහ දරුවන්ට බියකින් හා සැකයකින් තොරව නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව, ගෘහස්ථ පරිසරය, අධ්‍යාපන ආයතන, පොදු ප්‍රවාහනය සහ රැකියා ස්ථාන මෙන්ම වර්තමානයේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වාචික, කායික ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් සහ අපයෝජනයන් වැළැක්වීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ.
හිංසනයට ලක්වූවන්ට නීතිමය යුක්තිය ඉටු කිරීමට පමණක් සීමා නොවී, ඔවුන්ගේ ආරක්ෂාව, ගෞරවය, මානසික සුවය මෙන්ම යළි ජීවිතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම ද යුක්තියේම අනිවාර්ය කොටසක් බව අමාත්‍යවරිය එහිදී පෙන්වා දුන්නාය. ඒ සඳහා අදාළ නීති හා ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමටත්, අවදානම් කලාප හඳුනාගනිමින් අවශ්‍ය භෞතික හා මූල්‍ය සම්පත් ලබා දීමටත් රජය සෘජුවම මැදිහත් වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
එහිදී අමාත්‍යවරිය දැක්වූ අදහස් පහතින් උපුටා දැක්වේ.
” කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් තිබෙන හිංසනය පිටුදැකීම මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක්. මේ මානව හිමිකම වෙනුවෙන්, අපි සියලු කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනවා.”




