හිංසනය වාර්තා කරන භාෂාව වෙනස් කරමු – SAWM-SL දින 16ක ක්‍රියාකාරීත්වය අරඹයි

0
19

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්‍රියාකාරීත්වයේ දින 16ක වාර්ෂික ජාත්‍යන්තර ව්‍යාපාරයට සමගාමිව දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව (SAWM-SL) විසින් සංවිධානය කරන ක්‍රියාකාරී වැඩසටහන අද (25) සිට ආරම්භ කර තිබේ.

කතුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ භාෂා භාවිතය ඔස්සේ සමාජ අවබෝධය හැඩ ගස්සවන ආකාරය, වගවීම සහ වින්දිතයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය “”අප තෝරාගන්නා වදන්: අප යමක් විස්තර කරන අයුරු, අප එය දකින අයුරු හැඩගස්වයි,” (‘The Words We Choose: Because How We Tell It Shapes What We See’) යන තේමාව යටතේ පැවැත්වේ.

මෙවර ජාත්‍යන්තර තේමාව වන ‘යුක්තිය තහවුරු කිරීම, වින්දිතයන් ආරක්ෂා කිරීම සහ දඬුවම් නොලැබීමේ සංස්කෘතිය අවසන් කිරීම’ යන්නට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

මෙම වැඩසටහනට අදාළව පසුගිය නොවැම්බර් 18 වැනිදා කොළඹ දී මාධ්‍යවේදීන්, නිර්මාණකරුවන්, අන්තර්ගත නිෂ්පාදකයන්, ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා වැඩමුළුවක් සහ නිර්මාණාත්මක අන්තර්ගත සංවර්ධන සැසියක් පවත්වා තිබුණි.

කාන්තා සහ මාධ්‍ය සාමූහිකයේ ආචාර්ය සේපාලි කොට්ටේගොඩගේ මෙහෙයවීමෙන් පැවති ආරම්භක සාකච්ඡාවේදී කාන්තාවන්ගේ ඇඟලුම් තෝරාගැනීමේ අයිතිය, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ සමාජ ආකල්ප, තාක්ෂණය ආශ්‍රිත ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, LGBTQ+ අයිතිවාසිකම්, ආන්තික ප්‍රජාවන් සහ මාධ්‍ය තුළ කාන්තාවන් වෙත එල්ල වන විවේචන පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එසේම, ඇතැම් මාධ්‍ය වාර්තාකරණ සහ සමාජ මාධ්‍ය ප්‍රකාශ මඟින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් වෙනස්කම් තවදුරටත් තීව්‍ර කිරීම, ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීම සහ නීතිමය හා ආචාරධාර්මික අඩුපාඩු නොසලකා හැරීම සිදුවන ආකාරය පිළිබඳවද එහිදී අවධානය යොමු කර ඇත.

මෙම සාකච්ඡාවට ශරීන් සරූර් (Women’s Action Network), නබීලා ඉක්බාල් (Sisterhood Initiative), මිෂාරි වීරබංශ (Delete Nothing), දිමිත්‍රි විජේසිංහ (Women’s Solidarity Network), දීපාංජලී අබේවර්ධන (Verité Research) සහ පබා දේශප්‍රිය (The Grassrooted Trust) යන අය සහභාගී වී තිබේ.

ඉන් අනතුරුව ආචාර්ය සංජන හත්තොටුව විසින් ඩිජිටල් ආරක්ෂාව සහ කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිතය පිළිබඳ සැසියක් පවත්වා ඇත.

මෙම වැඩමුළුවේදී කණ්ඩායම් වශයෙන් එක්වූ සහභාගීවන්නන් විසින් වීඩියෝ, පෝස්ටර්, මාර්ගෝපදේශ, චිත්‍ර කතා, නිදර්ශන කාව්‍ය, තොරතුරු ඉදිරිපත් කිරීම් සහ වින්දිතයකුගේ අත්දැකීමක් ඇතුළත් බහුභාෂා අන්තර්ගත නිර්මාණ සකස් කර තිබේ.

වින්දිතයන්ගේ තීරණ ගැනීමේ අයිතිය සහ ස්වාධීනත්වය තහවුරු කිරීම, ළමයින් ආරක්ෂා කිරීම, නීතිමය හා ආයතනික හිඩැස් පෙන්වා දීම, මාධ්‍ය සහ අන්තර්ජාල අවකාශ තුළ සංවේදී සිදුවීම් අතිශයෝක්තියෙන් වාර්තා කිරීම හා වින්දිතයන්ට දොස් පැවරීම අභියෝගයට ලක් කිරීම, කාන්තාවන්ගේ ඇඳුම් පදනම් කරගනිමින් විනිශ්චය කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ අන්තර්ජාලය තුළ කාන්තාවන්ට එරෙහි වෛරී ප්‍රකාශ, ඩිජිටල් ආරක්ෂාව හා කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත අවදානම් පිළිබඳ අවධානය යොමු කිරීම එම අන්තර්ගත නිර්මාණවල ප්‍රධාන අරමුණු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here