නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට තේරී පත් වූ පළමු පලස්තීන ජාතික කාන්තාව ලෙස අබර් කවාස් ඉතිහාසයට

0
10

වයඹදිග ක්වීන්ස් (Queens) හි 12 වැනි දිස්ත්‍රික් ප්‍රාන්ත සෙනෙට් අසුන වෙනුවෙන් තරග කළ ඇය, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හන් ඛොන් ටෝ (Han Khon To) පරාජය කරමින් සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 74.5%ක අතිවිශිෂ්ට බහුතරයක් හිමිකර ගැනීමට සමත් වූවාය.

නිව්යෝර්ක් නගරාධිපති ධුරයට තේරී පත් වී සිටින සොහ්රාන් මම්දානි (Zohran Mamdani) සහ ‘අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්’ (DSA) සංවිධානයේ සහාය ඇතිව ක්‍රියාත්මක වූ ඇගේ මැතිවරණ ව්‍යාපාරයට ස්වේච්ඡා සේවකයින් 1,000කට අධික පිරිසක් එක්ව සිටියහ. දැරිය හැකි මිලකට නිවාස, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය සහ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් ඇගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවන් වී තිබුණි.

1948 සහ 1967 වසරවලදී පලස්තීනයෙන් අවතැන් වූ දෙමාපියන්ට දාව උපන් කවාස් පවසන්නේ, සිය පවුල මුහුණ දුන් කටුක අත්දැකීම් සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමට තමන්ව පෙළඹවූ බවයි. ඇය නව යොවුන් වියේ පසුවෙද්දී අමෙරිකානු ආගමන බලධාරීන් විසින් සිය පියා රඳවා තබා ගැනීමේ සිදුවීම ද, සංක්‍රමණික ප්‍රජාවන් මුහුණ දෙන අභියෝග වෙනුවෙන් හඬ නැගීමට ඇය තුළ දැඩි අධිෂ්ඨානයක් ඇති කිරීමට බලපා තිබේ. මැතිවරණ දේශපාලනයට පිවිසීමෙන් තම ප්‍රතිපත්ති පාවා දීමට සිදුවේදැයි මුලදී බියක් තිබුණද, පලස්තීන විමුක්තිය වෙනුවෙන් ඇති දැඩි කැපවීම තමන්ව මෙම තීරණය වෙත යොමු කළ බව ඇය සඳහන් කළාය.

ව්‍යවස්ථාදායකය තුළ ඇගේ පළමු ප්‍රමුඛතාව වී ඇත්තේ 2023 වසරේදී මම්දානි සමඟ එක්ව කෙටුම්පත් කළ “Not on Our Dime!” පනත් කෙටුම්පතට යළි පණ දීමයි. වාඩිලාගෙන සිටින පලස්තීන භූමියේ නීතිවිරෝධී ඊශ්‍රායල ජනාවාස ක්‍රියාකාරකම් සඳහා නිව්යෝර්ක්හි ලාභ නොලබන සංවිධාන මගින් අරමුදල් සැපයීම වැළැක්වීම මෙම පනතේ අරමුණයි.

ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය තුළ තම පාර්ශ්වය තවමත් සුළුතරයක් බැවින් මෙම නීති සම්මත කර ගැනීම සහ අමෙරිකානු ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීම දුෂ්කර අභියෝගයක් වනු ඇති බව කවාස් පිළිගනී. කෙසේ වෙතත්, තමන් සැමවිටම වගකියන්නේ තමන්ට සහාය දුන් ජනතාවට සහ ක්‍රියාකාරීන්ට පමණක් බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here