ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් (WBBL 12) ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා වන නිල සංචිතයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඉවත් කිරීමට හෝබාර්ට් හරිකේන්ස් කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවම අවස්ථාව හෝ රැක ගැනීමේ අරමුණින් මෙම තීරණාත්මක වෙනස සිදු කර ඇති බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩසිය වාර්තා කරයි.
එංගලන්ත ආරම්භක පිතිකාරිනී ඩැනී වයට්-හොජ් වෙනුවට ආදේශක ක්‍රීඩිකාවක ලෙස හෝබාර්ට් පිල හා එක්වූ චමරිට, 2023 වසරේ සිඩ්නි තන්ඩර් පිල වෙනුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා මෙවර ප්‍රදර්ශනය කිරීමට නොහැකි විය. මෙවර තරගාවලියේ ඉනිම 5කදී ඇයට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 39ක් පමණක් වන අතර, එහිදී ඇයගේ ලකුණු සාමාන්‍යය 7.80ක් සහ ප්‍රහාරාත්මක වේගය 59.0ක් ලෙස පහළ මට්ටමක පැවතුණි. පසුගිය අඟහරුවාදා ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව පැවති තරගයේදී පන්දු 26කින් ලකුණු 10ක් ලබා සිටියදී, කණ්ඩායමේ ලකුණු වේගය වැඩි කිරීමේ අවශ්‍යතාව මත ඇයව පිටියෙන් ඉවත් කිරීමට පවා කණ්ඩායම් බලධාරීන්ට සිදු විය.
ආබාධයක් හේතුවෙන් මුල් තරග පහ අහිමි වූ එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩිකා ලින්සි ස්මිත් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර, අද බ්‍රිස්බේන් හීට් පිලට එරෙහි තරගයට ඇය ක්‍රීඩා කිරීමට නියමිතය. මැදපෙළ සාර්ථක වූ මැඩී ග්‍රීන් ද තවදුරටත් සංචිතයේ රඳවා ගැනීමට තීරණය කිරීමත් සමඟ, කණ්ඩායමකට ඇතුළත් කරගත හැකි විදෙස් ක්‍රීඩිකාවන් සංඛ්‍යාව සීමා වීමේ නීතිය යටතේ චමරිට සිය ස්ථානය අහිමි වී තිබේ. මෙය හුදෙක් විවේක ගැන්වීමක් නොව නිල සංචිතයෙන්ම නිදහස් කිරීමක් බැවින්, වෙනත් විදෙස් ක්‍රීඩිකාවක ආබාධයකට ලක් නොවුණහොත් චමරිට යළි මෙවර තරගාවලියට එක්වීමේ අවස්ථාවක් හිමි නොවනු ඇත.

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් හෝබාර්ට් පිලේ ප්‍රධාන පුහුණුකාරිනී ජූඩ් කෝල්මන් පවසා ඇත්තේ, ක්‍රීඩිකාවකට මෙවැනි තීරණයක් දැනුම් දීම තමන් මුහුණ දුන් අසීරුම අත්දැකීමක් බවයි. කවුරුන් වුවත් දක්ෂතා අතරට නොපැමිණෙන විට කණ්ඩායමේ ස්ථානය ස්ථිර නැති බවත්, චමරි විශාල බලාපොරොත්තු ඇතිව පැමිණ උපරිමය කරන්න උත්සාහ කළත් එය සාර්ථක නොවූවත් ඇය ඉතා වෘත්තීය මට්ටමින් මෙම තීරණය පිළිගත් බවත් ඇය සඳහන් කළාය.
තරගාවලියේ අඩක් අවසන් වන විට මුහුණ දුන් තරග 5ම පරාජය වී සිටින හෝබාර්ට් හරිකේන්ස් පිලට, අද පැවැත්වෙන බ්‍රිස්බේන් හීට් තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ. චමරි වෙනුවට ආරම්භක පිතිකාරිනිය ලෙස රේචල් ට්‍රෙනමන් කැඳවා ඇති අතර, අද තරගයත් පරාජය වුවහොත් කණ්ඩායමේ ඉදිරි සැලසුම් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සිදුවන බව පුහුණුකාරිනිය වැඩිදුරටත් පෙන්වා දී ඇත.




