වයස අවුරුදු 101කදී ලෝක වාර්තා බිඳ දැමූ මිත්තණියකගෙන් දිගු හා සතුටුදායක ජීවිතයකට අපූරු රහස් 6ක්!

    0
    38

    අවුරුදු 101ක උපන්දිනයට ආසන්නව පැවැති ‘Huntsman World Senior Games’ ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලට පළමු වරට එක් වූ ඇය, මීටර් 50 ධාවන තරගය, කවපෙත්ත විසිකිරීම, හෙල්ල විසිකිරීම, බර ඉසිලීම (Shot Put) සහ මීටර් 400 ධාවන තරගය යන ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් මෙන්ම අලුත් ලෝක වාර්තා රැසක් තමන් සතු කර ගත්තේ ලෝකයක්ම පුදුමයට පත්කරමින්.

    සිය කාර්යබහුල ජීවිතය තුළ නිතරම සතුටින් සහ ක්‍රියාශීලීව රැඳී සිටින ඇය, දීර්ඝ, සාර්ථක හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා තමන් ජීවිතයේ අත්දැකීමෙන් උගත් රහස් 6ක් මෙලෙස බෙදාහදාගෙන තිබේ

    ඇල්ටා පියර්සන් වසර ගණනාවක් පුරා ගෘහ විද්‍යා (Home Economics) ගුරුවරියක ලෙස සේවය කළා ය. පසුව පුස්තකාලයක සහ විශ්වවිද්‍යාලවලද සේවය කළ ඇය පවසන්නේ තමා තමන්ගේ රැකියාවට, විශේෂයෙන්ම පාසල් දැරියන් සමඟ ගත කළ කාලයට අතිශයින් ආදරය කළ බවයි. තෘප්තිමත් සහ සතුට දනවන වෘත්තීය ජීවිතයක් ගත කිරීම ඇයගේ මානසික සුවයට සහ දීර්ඝ ආයුෂවලට ලැබුණු ලොකුම රුකුලක්.

    සෝබර පවුල් පසුබිමක හැදී වැඩුණු ඇය, දරුවන් 6 දෙනකුගේ ආදරණීය මවකි. අදටත් ඇය තම දියණියගේ නිවස අසල පදිංචිව සිටින අතර, මිනිබිරියන් සමඟ එකම නිවසේ සතුටින් කාලය ගත කරයි. පවුලේ අය, පල්ලියේ මිතුරන් සහ අසල්වැසියන් නිතර ඇසුරු කිරීම ඇයගේ ජීවිතයට ගෙන එන්නේ කිසිදා සිඳී නොයන ප්‍රබෝධයකි.

    වයස අවුරුදු 101ක් වුවද, ඇය මලල ක්‍රීඩා තරගාවලියට එක් වූයේ සිය බෑණනුවන්ගේ අදහසකට අනුවය. මුලදී තරමක් මැලි වුවද, අභියෝගය භාරගත් ඇය අද වන විට ලෝක වාර්තා හිමි අපූරු ක්‍රීඩිකාවකි. ජීවිතයේ ඕනෑම අවධියක අලුත් අත්දැකීම්වලට මුහුණ දීමට ඇති කැමැත්ත ඇයව තවමත් යෞවනියක මෙන් සජීවීව තබා ගෙන තිබේ.

    වයස අවුරුදු 98ක් වන තෙක් දැඩි ලෙස පිහිනුම් ක්‍රීඩාවේ නියැළී සිටි ඇය, අදටත් මිතුරන් සමඟ සාප්පු සංකීර්ණ තුළ ඇවිදීමෙන් තම දෛනික ව්‍යායාම සිදු කරයි. ශාරීරික ක්‍රියාශීලීභාවය මෙන්ම මනස නිතර සක්‍රියව තබා ගැනීම ඇයගේ යෝග්‍යතාවේ සහ තාරුණ්‍යයේ රහසයි.

    ඇය නිවසේදී පාන් සහ කුරුඳු රෝල්ස් (Cinnamon Rolls) සෑදීමට දැඩි රුචිකත්වයක් දක්වයි. ඊට අමතරව, පොත් කියවීම සඳහා නිතර පුස්තකාලයට යාම, අලංකාර ඇඳුම් මැසීම සහ මිනිබිරියන් සඳහා අතින්ම ඇදුම් නිර්මාණය කිරීම වැනි කටයුතුවල නිරත වන්නීය.

    දීර්ඝ ආයුෂ ලැබීමේ රහස කුමක්දැයි කවුරුන් හෝ විමසූ විට ඇය සිනාසෙමින් පවසන්නේ, “හැමදාම උදෑසන අවදි වී තමන්ගේ කටයුතු තමන්ම කරගනිමින් සතුටින් දවස අරඹන්න” යනුවෙනි. ඇය කිසිදා දුම්පානය කර නැති අතර, මත්පැන් පානයෙන්ද සම්පූර්ණයෙන්ම වැළකී සිටියි. පලතුරු බහුල පෝෂදායී සම්පූර්ණ ආහාර වේලක් ලබා ගැනීමට ඇය නිතරම වගබලා ගනී.

    සෞඛ්‍ය ගැටලු මැද ආයු අපේක්ෂාව අවම වෙමින් යන යුගයක ඇය වන් චරිත සමාජයට අනුගමනට කරන්නට තරම් වටින්නේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here