ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ නොගෙවන ගෘහස්ථ සහ රැකවරණ සේවාව (Unpaid Care Work) ජාතික ප්‍රතිපත්තියක් මගින් පිළිගැනීමේ ක්ෂණික අවශ්‍යතාව අවධාරණය කෙරේ.

0
14

“ප්‍රතිපත්තියේ සිට ප්‍රජා මූලික විසඳුම් දක්වා: නොගෙවන රැකවරණ වගකීම් බෙදා ගැනීමට ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීම” (From Policy to Community-driven Solutions: Engaging Communities to Share Unpaid Care Responsibilities) යන තේමාව යටතේ පැවැති මෙම සමුළුව ආසියා පදනම (The Asia Foundation) සහ කාන්තාව සහ මාධ්‍ය එකමුතුව (Women and Media Collective – WMC) විසින් ග්ලෝබල් එෆෙයාර්ස් කැනඩා (Global Affairs Canada) ආයතනයේ සහයෝගය ඇතිව සංවිධානය කර තිබුණි.

මෙම සමුළුව සඳහා රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, සිවිල් සමාජ නායකයන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

සමුළුව ඇමතූ ප්‍රධාන දේශකයන් පෙන්වා දුන්නේ, නිවස තුළ කාන්තාවන් විසින් සිදු කරනු ලබන නොගෙවන රැකවරණ සේවාවන් හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය, රැකියා නියුක්තිය, රාජ්‍ය හා සමාජීය කටයුතුවලට දායක වීම මෙන්ම පෞද්ගලික සංවර්ධනය සඳහා ඇති ඉඩකඩ දැඩි ලෙස සීමා වී ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (Isabelle Martin) ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ඇතුළත් කරගත් ආර්ථික සහභාගීත්වය වෙනුවෙන් කැනඩාවේ ඇති කැපවීම නැවත තහවුරු කළා ය. ආසියා පදනමේ ශ්‍රී ලංකා නියෝජිත ජොහාන් රෙබර්ට් (Johann Rebert) අවධාරණය කළේ ප්‍රතිපත්තිමය සාකච්ඡාවලදී කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ ජීවන අත්දැකීම් පෙරමුණෙහි තැබිය යුතු බවයි.

කාන්තාවන්ගේ නොගෙවන රැකවරණ සේවාව සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත (Draft National Policy on Unpaid Care Work) කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව සකස් කර ඇති අතර, එය මෙම සමුළුවේ ප්‍රධාන අවධානයට ලක්විය.

මෙම ජාතික ප්‍රතිපත්ති රාමුව ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ බවට පත් කිරීමට රජය බැඳී සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මෙහිදී ප්‍රකාශ කළා ය.

කාන්තා ආරක්ෂණය, මානව සංවර්ධනය සහ සාධාරණ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම ප්‍රතිපත්ති කෙටුම්පත දැනට සමාලෝචනය වෙමින් පවතින බවත්, මෙම වසර තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් කාන්තාව සහ මාධ්‍ය එකමුතුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය සේපාලී කොට්ටේගොඩ සඳහන් කළා ය.

තේමාත්මක සාකච්ඡාවලට අමතරව ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන ප්‍රජා මූලික වැඩසටහන් ගණනාවක් ද මෙම සමුළුවේදී ඇගයීමට ලක් විය:

  • රැකවරණ මධ්‍යස්ථාන (Care Facilities): ළමයින්, වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයන් උදෙසා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන දිවා සුරැකුම් ආදර්ශ මධ්‍යස්ථාන යාපනය, මඩකලපුව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කයන්හි නියමු ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක වේ.
  • ප්‍රජා දැනුවත් කිරීම් (Community Advocacy):ගෘහස්ථ වගකීම් සහ රැකවරණ කටයුතු සමව බෙදා ගැනීම ප්‍රවර්ධනය කිරීමේ දැනුවත් කිරීමේ ප්‍රචාරණ වැඩසටහන් කුරුණෑගල, නුවරඑළිය, හම්බන්තොට සහ මඩකලපුව යන ප්‍රදේශවල සිදු කෙරේ.

එමෙන්ම, සාධාරණ මිළකට ලබාගත හැකි සහ ප්‍රවේශ විය හැකි රැකවරණ යටිතල පහසුකම් පද්ධතියක් ස්ථාපිත කිරීමේ හදිසි අවශ්‍යතාවත්, ගෘහස්ථ රැකවරණ වගකීම් බෙදා ගැනීම සඳහා පිරිමින් සහ පිරිමි ළමයින් සක්‍රියව සම්බන්ධ කර ගැනීමේ විශේෂිත වැඩසටහන්වල වැදගත්කමත් මෙහිදී පෙන්වා දෙන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here