වසර පහක නිහැඬියාව බිඳිමින් ශේෂාද්‍රි කියන කතාව

0
19

ප්‍රවීණ සාහිත්‍යවේදිනී මනෝහාරී හේවාවසම් මෙහෙයවන ‘මිරර් ආර්ට්’ (Mirror Arts) නාලිකාව සමඟ එක්වෙමින් ශේෂාද්‍රි ප්‍රියසාද් සිය කලා ගමන සිහිපත් කළේ එලෙසිනි.

පාසල් වියේදීම ‘චැලෙන්ජර්ස්’ සිනමාපටයෙන් රිදී තිරයට ආ ඇය, වේලාවට වැඩ කිරීම, කණ්ඩායම් හැඟීම සහ මිනිසුන්ට ගරු කිරීම වෘත්තීය රංගන ශිල්පියෙකුගේ මූලිකම ගුණාංගය විය යුතු බව පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය හමුවේ සිනමාව කඩා වැටුණු පසුබිමක හුදෙකලා වූ ඇය, පසුතැවීම් සහ පෞද්ගලික වේදනාවන් ජයගත්තේ දැඩි ආධ්‍යාත්මික විශ්වාසයකිනි.


“අපිට වැරදි කරපු අයට සමාව දෙන එක ලේසි නෑ. හැබැයි මම මට රිදවපු මිනිස්සුන්ට සමාව දීලා මගේ මනසින් එයාලව අයින් කළා. වෛර කර කර හිටියා නම් අන්තිමට පාඩුව මටමයි” යනුවෙන් ඇය කියා සිටියේ සන්සුන් ස්වරයෙනි.


“දරුවෙක්ගේ මුල් අවුරුදු දෙක අම්මා ළඟම ඉන්න ඕන කියන එක මොන්ටිසෝරි න්‍යාය ඇතුළේ අපි ඉගෙන ගන්නවා. හැබැයි අද තියෙන ආර්ථික රටාව එක්ක හැම අම්මා කෙනෙකුටම රස්සාව දාලා ගෙදර ඉන්න බෑ. දෙමාපියන් ඒ ගැන කලකිරෙන්න හොඳ නෑ.”

පෙර ළමාවිය සංවර්ධනය සහ මනෝවිද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වන ශේෂාද්‍රි, න්‍යායට වඩා නිවසේ ඇති ආදරණීය පරිසරය දරුවාගේ මනසට බලපාන බව පෙන්වා දෙයි.

සමාජ මාධ්‍ය හරහා දරුවන් විකුණා මුදල් ඉපැයීමේ ප්‍රවණතාව ගැන අදහස් දක්වමින්, “දරුවන්ට තාක්ෂණය එක්ක නිදහස දෙන්න ඕන, හැබැයි සීමාවක් ඇතුව. මගේ පේජ් එකේ මම බබා එක්ක කරන දේවල් දැම්මට කිසිම දවසක දරුවා පාවිච්චි කරලා සල්ලි හම්බකරන්න මම පෙළඹෙන්නේ නෑ” යැයි ඇය දැඩි ස්ථාවරයක පසුවෙයි.

හුදෙකලාව බිඳ දමා නැවත ක්ෂේත්‍රයට එන්නට සැමියා ක්‍රිශාන් පෙරේරාගෙන් ලැබුණු දිරිගැන්වීම ඇය අගය කරයි. තමාගේම වූ සීමා මායිම් සහ ගෞරවනීය රාමුවක් තුළ තෝරාගත් නිර්මාණ පමණක් භාරගන්නා බව ඇය අවධාරණය කරයි.

දිවංගත ටෙනිසන් කුරේගේ අවසන් සිනමා රංගනය සටහන් වන ‘රහයි ජීවිතේ’, ‘කොළඹ 14’ මෙන්ම ‘හනිමූන් ටුමෝරෝ’ හරහා ඇය සිය කලා චාරිකාවේ පරිණත දෙවැනි ඉනිම සටහන් කිරීමට මේ වන විට සූදානම්ව සිටියි.

සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here