එක්සත් ජනපද ප්‍රාන්තයක ආණ්ඩුකාර ධුරයට තේරී පත් වූ ප්‍රථම කළුජාතික කාන්තාව බවට පත්වෙමින් ඩිමොක්රටික් පාක්ෂික කීෂා ලාන්ස් බොටම්ස් (Keisha Lance Bottoms) ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සමත්ව තිබේ. ඊයේ (03) පැවැති එක්සත් ජනපද මැතිවරණයේදී ජෝර්ජියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරය වෙනුවෙන් තරග කළ ඇය, මෙම ඓතිහාසික ජයග්‍රහණය අත්කර ගත් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.
එක්සත් ජනපද මාධ්‍යයන්හි අනාවැකිවලට අනුව, 56 හැවිරිදි හිටපු ඇට්ලන්ටා නගරාධිපතිනිය මෙන්ම ජනාධිපති ජෝ බයිඩන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ද වූ බොටම්ස් හමුවේ පරාජයට පත්වූයේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන රික් ජැක්සන් (Rick Jackson) ය. ‘Jackson Healthcare’ සෞඛ්‍ය සේවා සමාගමේ නිර්මාතෘවරයා වන ජැක්සන්, බදු සහන සහ මහජන ආරක්ෂාව මුල් කරගනිමින් මෙවර මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා තිබුණි.
මෙම ජයග්‍රහණයත් සමග දශක දෙකකට (වසර 20 කට) වැඩි කාලයකට පසු ජෝර්ජියා හි විධායක බලය නැවතත් ඩිමොක්රටික් පක්ෂය සතු වීම විශේෂත්වයකි. වාර දෙකක් සේවය කිරීමෙන් පසු ධුරයෙන් ඉවත් වන රිපබ්ලිකන් ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් (Brian Kemp) ගෙන් පසුව ඇය මෙම තීරණාත්මක ධුරයට පත්වීමට නියමිතය.
2018 සහ 2022 වසරවලදී ප්‍රධාන පක්ෂයකින් ආණ්ඩුකාර ධුරයට නිර්දේශ වූ පළමු කළු ජාතික කාන්තාව ලෙස ස්ටේසි ඒබ්‍රම්ස් (Stacey Abrams) ගොඩනැගූ බහු-වාර්ගික ඡන්දදායක සන්ධානයේ ශක්තිමත් පදනම මෙම ජයග්‍රහණයට සෘජුවම බලපා ඇත. වසර ගණනාවක් පුරා රිපබ්ලිකන් පක්ෂයේ බලකොටුවක්ව පැවැති ජෝර්ජියා ප්‍රාන්තය, ජාතික මට්ටමේ තීරණාත්මක තරඟකාරී ප්‍රාන්තයක් බවට පත් කිරීමට මෙම කළු ජාතික ඡන්දදායකයන් ඇතුළු සන්ධානය ප්‍රධාන වශයෙන් දායක වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
මූලාශ්‍රය Newsfirst




