කාන්තාවකට පහරදීමෙන් මූලික අයිතිවාසිකම් කඩ කළ දොම්පේ පොලිසියේ කොස්තාපල්වරයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

0
37

දොම්පේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් කාන්තාවකට පහරදී ඇගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයාට මාස 6ක් ඇතුළත සිය පෞද්ගලික මුදලින් රුපියල් 100,000ක වන්දි මුදලක් අදාළ කාන්තාවට ගෙවන ලෙසට අධිකරණය නියෝග කළේය.

ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ජයසිංහගේ නිර්මලා කාන්ති නැමැති කාන්තාව විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කරමින් මෙම තීන්දුව ලබාදී ඇත.

ලක්මාල් (84253) නැමැති අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් පෙත්සම්කාරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියෙන් තහවුරු කර ඇති වදහිංසාවලින් සහ අමානුෂික හෝ අවනම්බුකාර සැලකිලිවලින් මිදීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී ප්‍රකාශ කළේය.

2019 ඔක්තෝබර් 7 වන දින නීතිවිරෝධී මත්පැන් ජාවාරමකට අදාළව අත්අඩංගුවට ගෙන සිටි තම සැමියාට දහවල් ආහාරය ලබාදීමට දොම්පේ පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පොලිස් කොස්තාපල්වරයා තමාට ශාරීරිකව සහ වචනයෙන් පහර දුන් බව පෙත්සම්කාරිය සඳහන් කර තිබුණි. තමා ලැබූ තුවාලවල ඡායාරූප, වෛද්‍ය නීති පරීක්ෂණ වාර්තා සහ තමා රෝහල්ගත කළ ත්‍රිරෝද රථ රියදුරුගේ දිවුරුම් ප්‍රකාශයක්ද ඇය විසින් සාක්ෂි ලෙස අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here