දෙවරක් ඔලිම්පික් නියෝජනය කළ යුරෝපීය ශූරී සියාරා මැගියන් (Ciara Mageean) අභාවප්‍රාප්ත වෙයි

0
26

දෙවරක් ඔලිම්පික් උළෙල නියෝජනය කළ, යුරෝපීය 1500m ශූරී සියාරා මැගියන් (Ciara Mageean) වයස අවුරුදු 34ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

2025 මැයි මාසයේදී ඇයට ඇතිවූ මහාන්ත්‍රික පිළිකා (Bowel Cancer) තත්ත්වයක් හේතුවෙන් ඇය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. උතුරු අයර්ලන්තයේ පෝටාෆෙරී (Portaferry) හි උපත ලැබූ ඇය 2016 රියෝ සහ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් අයර්ලන්තය වෙනුවෙන් තරග කළාය.

ඇගේ ක්‍රීඩා ජීවිතයේ ඉහළම ජයග්‍රහණය සටහන් වූයේ 2024 රෝමයේ පැවැත්වුණු යුරෝපීය ශූරතාවලියේදී මිනිත්තු 4:04.66ක කාලයකින් මීටර් 1500 රන් පදක්කම දිනා ගැනීමත් සමඟිනි. ඊට අමතරව 2016 දී ලෝකඩ පදක්කමද, 2022 යුරෝපීය ශූරතාවලියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම්ද දිනා ගැනීමට ඇය සමත් වූවාය.

2022 වසරේ බ්‍රසල්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 1500 තරගය මිනිත්තු 3:56.63කින් අවසන් කරමින් නව අයර්ලන්ත ජාතික වාර්තාවක් පිහිටුවීමටද ඇය සමත් වූවාය.

ඇගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරන අයර්ලන්ත අත්ලෙතික් සංගමය සඳහන් කරන්නේ ඇය අභියෝග හමුවේ නොසැලී සිටි, අන් අයට මහත් ආදර්ශයක් වූ දක්ෂ ක්‍රීඩිකාවක් බවයි. මියයාමට පෙර ඇය සිය දීර්ඝකාලීන සහකරු වූ තෝමස් මොරන් සමඟ බෙල්ෆාස්ට්හිදී විවාහ දිවියටද ඇතුළත් වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here