ජපන් රැඳවුම් භාරයට පත් ශ්‍රීලන්කන් සේවිකාව මුදාගැනීමේ උත්සාහය

0
20

ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්න ‘ඉයොන්’ (Aeon) සුපිරි වෙළඳ සංකීර්ණයේදී භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවක් මත ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් කාර්ය මණ්ඩල සේවිකාවක එරට පොලිස් භාරයට පත්ව තිබේ.

ජපාන අපරාධ නීතිය යටතේ විමර්ශන අවසන් වන තෙක් සැකකරුවකු දින 21ක උපරිම කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ බලය එරට ආරක්ෂක අංශ සතුය. ඒ අනුව අදාළ සේවිකාව මේ වන විටත් පසුවන්නේ එරට නීතිමය රැඳවුම් භාරයේය.

ජපානයේ අපරාධ විමර්ශන පද්ධතිය සකස්ව ඇත්තේ බාහිර පුද්ගල සබඳතා මත නීතිය නැමීමට කිසිදු ඉඩක් නොතබන ආකාරයෙනි. සුළු සොරකමකදී වුවද නඩු විභාගයට පෙර කාලය තුළ සැකකරුවන් ඇප මත මුදාහැරීම ජපාන පොලිසිය ප්‍රතික්ෂේප කරයි.

මේ අතර, ගුවන් සේවයේ ඉහළ පෙළ බලධාරීන් කිහිපදෙනෙකු ජපාන බලධාරීන් සමඟ සෘජුව කතාබස් කර ඇය මුදාගැනීමට දැඩි පරිශ්‍රමයක නිරත වන බවට තොරතුරු වාර්තා වේ. දේශීය දේශපාලන හෝ ආයතනික බලපුළුවන්කාරකම් මත ජපාන පොලිස් ක්‍රමවේදයට බලපෑම් එල්ල කළ නොහැකි බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අවධාරණය කරයි.

මෙම මුදාගැනීමේ මෙහෙයුම පිටුපස සිටින්නේ ගුවන් ගමන් සේවා අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බවට කාර්ය මණ්ඩලය අතර දැඩි විවේචනයක් නිර්මාණය වී තිබේ. අතීතයේදී කාර්ය මණ්ඩල සාමාජිකාවන් සම්බන්ධයෙන් මතභේදාත්මක චෝදනාවලට ලක්වූ පුද්ගලයින් මෙලෙස පෞද්ගලික මැදිහත්වීම් සිදුකිරීම ආයතනික විනය පිරිහීමක් බව සේවකයෝ පෙන්වා දෙති.

ජාතික ගුවන් සේවයේ ජාත්‍යන්තර කීර්තිනාමයට එල්ල වන හානිය සැලකිල්ලට ගෙන, මෙවැනි අකටයුතුකම් පිළිබඳව කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහසයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රීලන්කන් ගුවන් සේවා බලධාරීන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

Theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here