ජීවිතය බේරාගන්නට ඇරඹි සටනින් ලෝකයම දිනූ ශවිනි

    0
    48

    ඇය උපතින්ම හදවතේ සිදුරක් සහිතව (Eisenmenger Syndrome – ES) උපත ලැබූ තැනැත්තියකි. මෙම දුර්ලභ තත්ත්වය නිසා කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව, ඉතා සුළු ක්‍රියාකාරකමකදී පවා ඇගේ සිරුරේ ඔක්සිජන් මට්ටම එකවරම පහත වැටී සිහිය නැති වී යයි. ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් රෝහල වෙත ප්‍රතිකාර සඳහා ගිය ඇයට එහිදී දැනගන්නට ලැබුණේ ඇයට තවදුරටත් ගුවන් ගමන්වල යෙදිය නොහැකි බවත්, නැවත කිසිදිනෙක මව්බිම වන ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වන බවත්ය.

    Visitor වීසා මත ඇමරිකාවේ තනි වූ ශවිනි, කාමරයකට වී මරණය එනතෙක් බලා සිටියේ නැත. ඒ වන විටත් එක්සත් රාජධානියේ පෝර්ට්ස්මවුත් විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යා උපාධියක් සහ ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කොවන් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර MBA උපාධියක් ලබා වසර 15ක වීඩියෝ ක්‍රීඩා සහ Virtual Reality නිර්මාණකාරිනියක ලෙස පළපුරුද්දක් තිබූ ඇය, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය.

    තමන්ගේම හදවත නතර වී, මුහුණ නිල් පැහැ වී කඩා වැටුණු එක්තරා භයානක මොහොතකින් පසු ඇගේ මනසේ අලුත් අදහසක් ජනිත විය.

    ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉවාන් බාර්බාගේ මඟපෙන්වීම යටතේ, ශවිනි ඇගේ කෑම මේසය මත තබාගෙන මූලාකෘති (Prototypes) 6ක් නිර්මාණය කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස ‘OxiWear’ උපත ලැබීය.

    කනට පලඳින මෙම කුඩා මෙවලම මගින් සිරුරේ ඔක්සිජන් මට්ටම භයානක ලෙස පහත වැටෙන විට ශබ්ද නිකුත් කර අනතුරු අඟවන අතර, අවශ්‍ය නම් 911 හදිසි ඇමතුම් සේවාව වෙත පණිවිඩයක් යැවීමේ පහසුකමද සහිතය.

    තමන්ගේම ජීවිතය බේරාගැනීමට ඇරඹි මේ පුංචි උත්සාහය, ජෝර්ජ්ටවුන් “Bark Tank” සහ Global Impact තරගාවලි ජයගනිමින් ඩොලර් 40,500ක ප්‍රදානයන් දිනාගැනීමට සමත් විය. 2022දී නිල වශයෙන් එළිදැක්වුණු OxiWear, ඇමරිකානු FDA (Food and Drug Administration) අනුමැතිය ලත් වෛද්‍ය උපකරණයක් බවට පත්විය. ඇගේ මෙම අද්විතීය දක්ෂතාව නිසාම ඇමරිකා එක්සත් ජනපදය විසින් විශේෂිත කුසලතා සහිත පුද්ගලයන්ට පමණක් පිරිනමන O-1 වීසා බලපත්‍රය ද ඇයට පිරිනමන ලදී.

    අද වන විට OxiWear යනු හුදෙක් ශවිනිගේ ජීවිතය බේරන මෙවලමක් පමණක් නොවේ.

    • නිදා සිටියදී ඔක්සිජන් මට්ටම අඩුවන කුඩා දරුවන්ට,
    • ඇමරිකානු ගුවන් හමුදා නියමුවන්ට, එක්සත් ජනපද හමුදාවන්ට (US Military) සහ තුවාල ලැබූ සෙබළුන්ට,
    • MLB, NFL සහ English Premier League හි ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන්ට,

    ඇතුළු දහස් ගණනකගේ ජීවිත සුරකින මහා ශක්තියක් බවට පත්ව ඇත.

    වඩාත්ම සතුටුදායක පුවත වන්නේ, ශ්‍රී ලංකාවේ 1990 සුව සැරිය නොමිලේ ඇම්බියුලන්ස් සේවාව තුළද රෝගීන් ප්‍රවාහනය කිරීමේදී ඔක්සිජන් මට්ටම නිරීක්ෂණය සඳහා OxiWear තාක්ෂණය ඉදිරියේදී එකතු වීමට නියමිත වීමයි.

    2015දී “අවුරුදු දෙකයි ජීවත් වෙන්නේ” යැයි අසන්නට ලැබූ ඒ ධෛර්යවන්ත යුවතිය, 2025 American Heart Association (AHA) ‘Impact with Heart’ සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙමින් විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරිනියක (CEO) ලෙස පරිවර්තනය වන්නට සමත් වූවාය.

    එදා මීටර් 600ක් පයින් ඇවිදින විට ඇද වැටුණු ශවිනි, අද මීටර් 1,980ක දුරක් පයින් ගමන් කරන්නීය!

    තමන්ගේ ජීවිතය රැකගැනීමට ඇරඹි සටනකින් ලෝකයම දිනූ ශවිනි ප්‍රනාන්දු යනු ශ්‍රී ලාංකේය කාන්තාවගේ අසමාන ධෛර්යය, බුද්ධිය සහ දයාව ලෝකය හමුවේ ඔප්පු කළ ජීවමාන සංකේතයක් ලෙස දැක්වීම අතිශයෝත්ක්තියක් නොවේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here