මොරොක්කෝ ඉතිහාසය වෙනස් කරමින් එරට පළමු අගමැතිනිය බවට පත් වූ ෆාතිමා එස්සහ්රා එල් මන්සූරි

    0
    20

    උතුරු අප්‍රිකානු අරාබි රාජ්‍යයක් වන මොරොක්කෝවේ දේශපාලන ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළී තිබේ. ඒ, පසුගිය 2026 සැප්තැම්බර් 29 වන දා එරට ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස 50 හැවිරිදි ෆාතිමා එස්සහ්රා එල් මන්සූරි පත්වීමත් සමඟයි. රාජ්‍ය නායක VI වන මොහොමඩ් රජු විසින් සිදුකරන ලද මෙම පත්කිරීම, මොරොක්කෝවට පමණක් නොව සමස්ත අරාබි ලෝකයටම ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වූයේය.

    සම්ප්‍රදායිකව පිරිමි පාර්ශ්වයේ ආධිපත්‍යයට නතුව තිබූ අරාබි ලෝකයේ දේශපාලන කරළිය තුළ කාන්තාවකට අග්‍රාමාත්‍ය ධුරය හිමිවූ තෙවන අවස්ථාව මෙයයි. මීට පෙර ටියුනීසියාවේ නජ්ලා බූඩෙන් සහ වත්මන් ටියුනීසියානු අගමැතිනිය වන සාරා සෆාරානි පමණක් එම තනතුර හෙබවූහ. තමන් ලැබූ මෙම ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ෆාතිමා සඳහන් කළේ, සිය මාතෘ භූමියේ ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් විසින් රාජ්‍යයක් මෙහෙයවීමේ වගකීම භාරගැනීම සමස්ත මොරොක්කෝ කාන්තාවන්ටම සුවිශාල ආඩම්බරයක් වනු ඇති බවයි.

    1976 වසරේ මාරකේෂ් හි උපත ලැබූ ෆාතිමා, ප්‍රංශයේ මොන්ට්පෙලියර් විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියත්, ඇමෙරිකාවේ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් වාණිජ නීතිය පිළිබඳ පශ්චාත් උපාධියත් හිමිකරගත් දක්ෂ නීතිඥවරියකි. ඇගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ තරුණ වියේදීමය. 2009 වසරේදී මාරකේෂ් නගරයේ පළමු කාන්තා නගරාධිපතිනිය ලෙස තේරී පත්වුණ ඇය, 2021 වසරේදී නැවත වරක් එම ධුරයට තේරී පත්වූවාය. පසුව මොරොක්කෝවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරිය ලෙස කැබිනට් මණ්ඩලයට එක්වූ ඇය, 2023 අල් හවුස් භූමිකම්පාවෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ සංකීර්ණ ව්‍යාපෘතිය ද සාර්ථකව මෙහෙයවන්නට සමත් වූවාය. ෆාතිමා එල් මන්සූරි ප්‍රමුඛ පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 97 ක් දිනාගනිමින් විශාලතම පක්ෂය බවට පත්වූ අතර, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සභාග ආණ්ඩුවක් ගොඩනැගීම ඇගේ පළමු කර්තව්‍යය විය. එලෙසම, 2030 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ස්පාඤ්ඤය සහ පෘතුගාලය සමඟ එක්ව සත්කාරකත්වය දැරීමට නියමිත බැවින්, ඩොලර් බිලියන ගණනක යටිතල පහසුකම් සහ ආයෝජන ව්‍යාපෘති නිසි ලෙස කළමනාකරණය කිරීමේ දැවැන්ත වගකීමද ඉදිරියේදී ඇගේ නව රජයට හිමිවේ.

    නවීනත්වය සහ සම්ප්‍රදාය අතර දෝලනය වන අරාබි සමාජයක, ෆාතිමා එස්සහ්රාගේ මෙම පත්වීම හුදෙක් දේශපාලන තනතුරක්ම පමණක් නොවන්නේය. එය අරාබි ලෝකයේ මෙන්ම අප්‍රිකානු කලාපයේ දහස් සංඛ්‍යාත කාන්තාවන්ට තමන්ගේ සිහින හඹායාමට ලැබුණු ආශිර්වාදයක් වන අතර, දේශපාලනය කාන්තාවන්ට තරම් නොවේ යන සමාජ කියවීමට අභියෝග කරමින් අරාබි ලෝකයේ කාන්තා නායකත්වයේ නව යුගයක ආරම්භය සලකුණු කිරීමක් ලෙසද පැවසීම අතිශයෝක්තියක් නොවේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here