එකම වර්ෂයක් තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළින්ම ජයග්‍රහණය කළ රනුලි

    0
    57

    කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන , පාදුක්ක සිරි පියරතන විද්‍යාලයෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව විශාඛාවට පිවිසියාය. ප්‍රවීණ සංයුක්ත ගණිත දේශක සඳුන් වානගුරුගේ දියණිය වන ඇය, පියාගේ අධ්‍යයන රටාව සමීපව නිරීක්ෂණය කරමින් පාසල් විෂය මාලාවන් කල්තියාම ස්වයං අධ්‍යයනයෙන් ආවරණය කර ගැනීමට සමත් වූවාය.

    ගත වූ 2024 වසරේදී ඇය මුහුණ දුන් මෙම අභියෝගය සැබවින්ම සුවිශේෂය. සාමාන්‍ය පෙළ සඳහා 2024 මැයි මස පෙනී සිටි අතර ඇයගේ ප්‍රතිඵලය A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථයක්.

    සාමාන්‍ය පෙළින් පසු කාලය නාස්ති නොකර, පාසල් ශිෂ්‍යභාවයෙන් ඉවත් වී පෞද්ගලික අයදුම්කාරියක ලෙස ගණිත අංශයෙන් ඇය 2024 නොවැම්බර් මස උසස්පෙළ විභාගයට පෙනී සිටියා. ඒ අනුව සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව සඳහා A සාමාර්ථ 3ක් ලබාගනිමින් Z-score අගය 1.99ක් සහ දිවයිනේ 963 වන ස්ථානය ලබාගැනීමට ඇය සමත් වූවාය.

    6 වැනි ශ්‍රේණියෙන් පසු කිසිදු බාහිර උපකාරක පන්තියකට නොගොස්, මුළුමනින්ම ස්වයං අධ්‍යයනය මත පමණක් යැපෙමින් වයස අවුරුදු 17දී ඇය මෙම විස්මිත ජයග්‍රහණය හිමිකරගෙන සිටින්නීය. දරුවන්ට නිදහසේ සහ තමන්ගේ වේගයෙන් ඉදිරියට යාමට හැකි වන පරිදි අධ්‍යාපන ක්‍රමය නම්‍යශීලී විය යුතු බව ඇයගේ පියා පෙන්වා දෙන අතර, ඉංජිනේරු පීඨයකට යාමට සුදුසුකම් තිබුණද අනාගතයේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිත විශේෂවේදී උපාධිය හදාරා ගණිතය පිළිබඳ මහාචාර්යවරියක වීම ඇයගේ එකම අපේක්ෂාව බව රනුලි සිය අදහස් දක්වමින් පවසන්නීය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here