Kitchen Management කියන්නේ වෙනස්ම කලාවක්

    0
    24

    නි‍වසක ඵලදායිතාව පිළිබඳ අවධානය යොමු කරනවිට ‘වැඩිපුර නිපදවීම’ යන පව නම් ඔබේ නි‍වසේ වැඩි වශයෙන් සිදු වේ යන්න නොඅනුමානය. ඔබ නි‍වසේ ආහාර පිසින විට මෙය වැඩි වශයෙන් සිදුවේ. සතරදෙනකුට ආහාර පිසින්නේ නම් පිසින ලද ආහාර සයදෙනකුටවත් ආහාරයට ගත හැකිය. මේ ආකාරයට දිනකට කෙතරම් ආහාර ප්‍රමාණයක් අපතේ යනවාද? එක්වරක් හෝ කිහිපවරක් සිදුවූ අතපසු වීම නැවත නැවත සිදු නොවීමට වගබලා ගත යුතුය. නි‍වසක ඵලදායිතාව කෙරෙහි අරපිරිමැස්ම බෙහෙවින් වැදගත් වනු ඇත. එසේම ඵලදායී නි‍වෙසක් ඇති කර ගැනීමට ‘වැඩිපුර නිපදවීම’ යන පවෙන් වැළකීම ඉතා වැදගත් වනු ඇත.

    නි‍වෙසක සිදුවන තවත් පවක් ලෙස ‘බලා සිටීම’ යන පව හඳුනාගත හැකිය. උදාහරණයකින්ම පැහැදිලි කළහොත් ඔබ උදෑසන තේ සෑදීමට සූදානම් වුවද ඔබ නි‍වෙසේ සීනි නොමැති බව දැන ගන්නේ එම මොහොතේය. නැතිනම් ව්‍යාංජනයක් සෑදීමට අවශ්‍ය කුළුබඩු නොමැති බව දන්නේ එම මොහොතේය. බොහෝ අවස්ථාවන්හි මෙය සැමියාට හෝ නි‍වෙසේ අයට පැවසීමට යෑමෙන් සිදු වනුයේ මතභේදයන් ඇති වීමය. එහිදී සිදුවනුයේ නි‍වෙසේ අඩුපාඩු සඳහන් නොකර එම අවස්ථාව තෙක්ම බලා සිටීමය. එය ඵලදායී නි‍වෙසක ලක්ෂණයක් නොවේ. නි‍වෙසේ අඩුපාඩු නිසි ලෙස සටහන් කර ගැනීමෙන් මෙවැනි අපහසුතාවන්ට පත් නොවනු ඇත. එය කාර්යක්ෂම මෙන්ම එදිනෙදා කටයුතුවලදී පහසුවක් එක් කරනු ඇත.

    තුන්වැනි පව ලෙස ‘අනවශ්‍ය ප්‍රවාහනය’ හඳුනා ගත හැකිය. මෙහිදී පෙර සඳහන් කළ පරිදි නි‍වෙසේ අඩුපාඩු සපයා ගැනීමට කොපමණ වාර ප්‍රමාණයක් කඩ සාප්පු වෙත ගමන් කරන්නේද? වාහනයක ගමන් කරන්නේ නම් එයින් සිදු වනුයේ අනවශ්‍ය ලෙස ඉන්ධන වැය වීමකි. ඉන්ධන පමණක් නොව කාලය, ශ්‍රමය කෙතරම් වැය වන්නේද? ඔබට පයින් යෑමට සිදුවන්නේ නම් එයින් ඇති කරන බලපෑම තවදුරටත් තීව්‍ර වනු ඇත. එම නිසා නිසි ලෙස කළමනාකරණය කර ගැනීම ඵලදායී නි‍වෙසක ලක්ෂණයක් ලෙස හඳුනා ගත හැකිය.

    ‘අනවශ්‍ය චලනයන්’ යනු ඵලදායී නිවෙසකට බාධා පමුණුවන තවත් පවකි. මෙහිදී බඩුබහිරාදීන් අදාළ ස්ථානයන්හි නොතැබීමෙන් අනවශ්‍ය චලනයන් සිදු වේ. එයින් කාලය ද අපතේ යෑම සිදු වේ. එපමණක් නොව ඔබ ඇඳුම් සෝදන ගල තිබෙන්නේ වඩාත් පහතින් නම් එහිදී ද සිදු වනුයේ අනවශ්‍ය චලනයකි. නමුත් එය නිසි ලෙස සකස් කර ගැනීමෙන් ඉන් මිදීමට හැකිවනු ඇත. මෙහිදී අනවශ්‍ය චලනයන් මඟ හරවා ගැනීමෙන් ඔබට ඔබේ කාර්යයන් වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට හැකිවනු ඇත. එසේම නි‍වෙස පිළිවෙළට තබා ගැනීමෙන් මෙම අනවශ්‍ය චලනයන්ගෙන් මිදීමට හැකිවනු ඇත.

    ‘අනවශ්‍ය තොගයන්’ යනු ද ඔබ අතින් සිදුවන තවත් පවකි. මෙහිදී අනවශ්‍ය ලෙස ඔබ නි‍වෙසේ බඩුබහිරාදීන් රැස් කරන්නේ නම් එය ඔබේ නි‍වෙසේ ඵලදායීතාවට මඟ අහුරන ක්‍රියාවකි. ඔබට සතියකට අවශ්‍ය වන්නේ එක් එළවළුවකින් ග්‍රෑම් 500ක් නම් ඔබ ඒ වෙනුවට ග්‍රෑම් 750ක්ම මිල දී ගන්නේ නම් එය අනවශ්‍ය තොගයකි. එලෙස එළවළු වර්ග රැසක්ම ඔබ ශීතකරණයේ දමා භාවිත කරනු ඇත. නමුත් සතියක් අවසානයේ කෙතරම් ප්‍රමාණයක් අපතේ යනවා ද යන්න ඔබටම පෙනෙනු ඇත. එසේම නි‍වෙසේ මෙතෙක් භාවිතයට නොගත් වීදුරු භාණ්ඩ සහ වෙනත් බඩුබහිරාදීන් කෙතරම්ද තිබේද? දුටු දුටු දෑ රැගෙන විත් නි‍වෙසේ ගබඩා කිරීමෙන් අනවශ්‍ය ලෙස මුදල් වැය වෙනවා සේම නි‍වෙසේ ඉඩකඩ භාවිතයේ ද ගැටලු ඇතිවනු ඇත. මෙහිදී අවශ්‍ය ලෙස පමණක් බඩුබහිරාදීන් භාවිතය ඵලදායී නි‍වෙෙසකට මං විවර වනු ඇත.

    ඵලදායී නිවෙසක් සඳහා ‘අනවශ්‍ය සැකසීම’ යන පවින් වැළකීම ඉතා වැදගත් වනු ඇත. මෙමඟින් ද සිදුවනුයේ විශාල නාස්තියකි. ඔබ සාදන තේ කෝප්පයට කහට වැඩි වුවහොත් එය බීමට නොහැකිය. එහිදී එයට තවත් වතුර දැමීම සිදු කළත් එහි රසය අඩුවනු ඇත. එසේම ව්‍යංජනයකට ලුණු හෝ ඇඹුල වැඩිවුවහොත් එය ආහාරයට ගැනීමට නොහැකි වනු ඇත. එනිසා එම ආහාර අපතේ දැමීමට සිදු වනු ඇත. එහිදී ඕනෑම දෙයක් සැකසීමේදී හෝ පිසීමේදී ප්‍රමාණයන් සහ කාලය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.

    මෙම පවින් වැළකීම ඵලදායී නිවෙසකට අත්‍යවශ්‍ය කරුණකි. ඔබ බත් එක පිසෙන්නට තබා වෙනත් කාර්යයක යෙදෙන විට නැවත බත් එක පිළිබඳ මතක් වනුයේ එහි රොස් ගඳ හමන විටය. එසේම මස් මාළු මිල දී ගැනීමේදී නිසි පරිදි පරීක්ෂා නොකිරීමෙන් එය පිසූ පසු එන කුණු රස නිසා එම ආහාර අපතේ දමන්නට සිදු වනු ඇත. මෙලෙස කෙතරම් අතපසුවීම් ඔබ අතින් සිදු වෙනවා ඇත්ද? වැදගත් වනුයේ නැවත එලෙස නොවීමට වගබලා ගැනීමය.

    මෙලෙස ඔබ අතින් සිදුවන අතපසුවීම්, නොසිතා කරනු ලබන කාර්යයන් නැවත නැවත සිදු නොවීමට වගබලා ගැනීමෙන් ඔබට ඵලදායී නිවෙසක් ඇති කර ගැනීමට හැකිවනු ඇත. එසේම එමඟින් නි‍වෙසේ සමගිය, සතුට ආදිය ද ඉබේම හට ගනු ඇත. කාන්තාවක් වශයෙන් නිසි ලෙස කළමනාකරණය කර ගැනීම, අරපිරිමැස්ම, පිළිවෙළ ආදිය ඇසුරු කිරීම මඟින් ඵලදායී නිවෙසකට පහසුවෙන්ම මං විවර වනු ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here