සාමාන්යයෙන් රැකියාවක නිරත වන්නෙකු නිවාඩුවක් ලබා ගන්නා විට තම Email ගිණුමේ සකස් කරන්නේ “මම දින කිහිපයකින් නැවත එන්නම්” යනුවෙන් සටහන් වන ස්වයංක්රීය පිළිතුරකි. නමුත්, World With Women සංවිධානය සහ BETC Paris නිර්මාණාත්මක ආයතනය එක්ව 2026 ඔක්තෝබර් 13 වනදා ලොව පුරා දියත් කළ අලුත්ම ප්රචාරණ ව්යාපාරයෙන් කාන්තාවන්ට ආරාධනා කළේ ඔවුන්ගේ Email පණිවිඩවල නැවත පැමිණෙන දිනය “2197 ඔක්තෝබර් 14” ලෙස වෙනස් කරන ලෙසයි.
එනම්, සංකේතාත්මකව වසර 171 කට පසු නැවත පැමිණෙන ලෙස සටහන් කිරීමයි!
වසර 171 ක් (2197) බලා සිටීම

මෙවැනි අසාමාන්ය දිනයක් තෝරා ගැනීමට හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් නිකුත් කරන ලද ප්රබල සංඛ්යාලේඛනයකි. එම වාර්තාවලට අනුව, ලෝකයේ දැනට ස්ත්රී-පුරුෂ සමානතාව (Gender Equality) වෙනුවෙන් කටයුතු සිදුවන පසුගාමී වේගයෙන් ගියහොත්, කාන්තාවන්ට සහ පිරිමින්ට සම්පූර්ණ සමාන අයිතිවාසිකම් සහ අවස්ථා හිමිවන පරිසරයක් නිර්මාණය වීමට තවත් වසර 171 ක් ගතවනු ඇත.
මෙම අතිශය දීර්ඝ කාලය හුදෙක් වාර්තාවකට පමණක් සීමා වූ ඉලක්කමක් ලෙස තබන්නේ නැතුව, මුළු ලෝකයේම ව්යාපාරික හා සමාජීය ක්ෂේත්රයන්ට තදින් දැනෙන ලෙස පෙන්වා දීමට මෙම උපක්රමය භාවිතා කර තිබේ.
Email පණිවිඩයේ ඇතුළත් සරල නමුත් ප්රබල වචන

මෙම ව්යාපාරයට එක්වන ඕනෑම කාන්තාවකට හෝ සංවිධානයකට ඉතා සරලව තමන්ගේ Email ගිණුමට (Outlook, Gmail ආදී) එක්කර ගත හැකි පණිවිඩය මෙසේය:
2197 දක්වා කාර්යාලයෙන් බැහැරව සිටිමි
” ඔබගේ විද්යුත් තැපෑලට ස්තුතියි. මම අද දින කාර්යාලයෙන් බැහැරව සිටින අතර, නැවත පැමිණීමට නියමිතව ඇත්තේ 2197 ඔක්තෝබර් 14 වනදාය. ඔව්, 2197! ප්රමාදය පිළිබඳ කණගාටු වෙමි.
මෙහි අර්ථය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, වර්තමානයේ පවතින වේගය අනුව ගියහොත් කාන්තාවන් සහ පිරිමින් අතර සැබෑ සමානතාවය අත්කර ගැනීමට තවත් වසර 171 ක් ගතවේ. මම ඒ තාක් බලා සිටීමට සූදානම් නැත.” යන්නයි. මෙම ප්රචාරණ ව්යාපාරය ආරම්භයේදීම හිටපු ප්රංශ අමාත්යවරියක වන එලිසබෙත් මොරෙනෝ, ඔලිම්පික් පදක්කම්ලාභී සාරා උරාමූන් සහ ප්රමුඛ පෙළේ කාන්තා ව්යවසායිකාවන් මෙන්ම අන්තර්ජාල අන්තර්ගත නිර්මාණකරුවන්ද තම Email සඳහා මෙම OOO පණිවිඩය සක්රිය කළහ.
මෙහිදී 1975 වසරේ අයිස්ලන්තයේ සිදු වූ සිදුවීම ආදර්ශයට ගෙන ඇත. එදින අයිස්ලන්තයේ කාන්තාවන්ගෙන් 90% ක්ම තමන්ගේ රැකියා සහ නිවසේ කටයුතුවලින් එක දිනකට සම්පූර්ණයෙන්ම ඉවත් වී වැඩ වර්ජනයක නිරත වූහ. එහි ප්රතිඵලයක් ලෙස අද වන විට ලෝකයේ ස්ත්රී-පුරුෂ සමානතාව ඉහළින්ම පවතින රට බවට අයිස්ලන්තය පත්ව ඇත.
මෙම ව්යාපාරයේ ප්රධාන අරමුණු වන්නේ දිනපතා ලොව පුරා හුවමාරු වන මිලියන සංඛ්යාත වෘත්තීය ඉමේල් අතරට මේ පණිවිඩය යාමෙන්, ආයතන ප්රධානීන් සහ සේවකයන් අතර ස්ත්රී-පුරුෂ සමානතාව පිළිබඳ සංවාදයක් ඇති කිරීමත්,”2197″ යන වසර කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බවත්, නීතිමය, සමාජීය සහ ආර්ථිකමය ප්රතිසංස්කරණ මගින් එම “වසර 171 ක බලා සිටීම” හැකි තරම් ඉක්මනින් පියවා ගත යුතු බවත් ලෝකයටම අවධාරණය කිරීමත් ය.
ඇත්තෙන්ම සමවටිනාකමක් සහ සම අයිතියක් වෙනුවෙන් සියවසකට වඩා කාන්තාවන් බලා සිටියයුතු වීම කොතෙක් දුරට යුක්ති යුක්තක් වේද?
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්රය worldwithwomen.com




