ජපානය වනාහි ස්වභාවික සෞන්දර්යයෙන් අනූන මෙන්ම, සෞඛ්‍ය සම්පන්න දිගු ආයු කාලයකට හිමිකම් කියන වැසියන් ජීවත් වන රටක් ලෙස ප්‍රකටය.
ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෑතකදී නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, එරට වයස අවුරුදු සියයක් හෝ සියය ඉක්මවූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතිහාසයේ පළමු වරට ලක්ෂයයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. සැප්තැම්බර් 15 වැනි දිනට යෙදී තිබූ “වයෝවෘද්ධ පුද්ගලයන්ට ගරු කිරීමේ දිනය” නිමිත්තෙන් නිකුත් කරන ලද මෙම වාර්තාව මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් දැඩි අවධානයට ලක්ව ඇත.
කාන්තා ජනගහණය පෙරමුණේ

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත දර්ශකයන්ට අනුව, වයස අවුරුදු සියයට වැඩි සමස්ත ජනගහනය 107,677ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 7,914 දෙනකුගේ වැඩිවීමකි.
ජපාන ඉතිහාසයේ මෙම සුවිශේෂී කඩයිම ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වන අතර, එය අඛණ්ඩව මෙලෙස වැඩි වූ 56 වැනි වසර ලෙසද වාර්තාගත වේ. මෙහි වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ මෙම සමස්ත සංඛ්‍යාවෙන් 88%කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් වීමයි.
කියෝතෝ හි පදිංචි 114 හැවිරිදි ෆුයෝ කිෂිමෝටෝ (Fuyo Kishimoto) ජපානයේ වයස්ගතම කාන්තාව ලෙස පිළිගැනෙන අතර, කුමමොටෝ හි 112 හැවිරිදි හිකරු කටෝ (Hikaru Kato) නම් පුරුෂයා එරට වයස්ගතම පිරිමියා වේ. මනා සෞඛ්‍යයකින් හා ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන මෙම වැඩිහිටියන්, අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සුබපැතුම් පතකින් සහ රිදී කුසලානයකින්ද පිදුම් ලබා ඇත.
ආයුකාලය මෙතරම් දිගු වන්නේ ඇයි?

ජපාන ජනගහනය මෙසේ අඛණ්ඩව දීර්ඝ ආයුෂ ලැබීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ නවීන වෛද්‍ය විද්‍යාවේ ප්‍රගතිය, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන් මෙන්ම ක්‍රියාශීලී දෛනික ජීවන රටාවයි.
සමාජයීය අභියෝග

කෙසේ වෙතත්, දිගු ආයු කාලයක් ලැබීම මානව වර්ගයා ලැබූ භාග්‍යයක් වුවද, මෙම ප්‍රවෘත්තියත් සමඟ ජපානය මුහුණ දී සිටින බරපතල සමාජීය අර්බුදය කෙරෙහිද දැඩි අවධානයක් යොමුව තිබේ. රටේ වැඩිහිටි ජනගහනය මෙසේ ඉහළ යද්දී, 2025 වසරේදී ජපානයේ මුළු උපත් අනුපාතිකය වාර්තාගත ලෙස 1.14 දක්වා පහත වැටී ඇත. (ජනගහනය ස්ථාවරව පවත්වා ගැනීමට නම් එය 2.1ක මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය වේ).
විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතර විවාහ වීම සහ දරුවන් බිහි කිරීම අඩුවීම හේතුවෙන්, අනාගතයේදී රටේ සමාජ ආරක්ෂණ ක්‍රම පවත්වාගෙන යාම රජයට විශාල අභියෝගයක් වී තිබේ. දරුවන් හැදීමේ හා අධ්‍යාපනයේ අධික වියදම් මෙන්ම, වැඩ කරන දෙමාපියන් මුහුණ දෙන මානසික හා ශාරීරික පීඩනය හේතුවෙන් තරුණ තරුණියන් විවාහ වීමට මැලි වන බව රජය පවා පිළිගෙන ඇත. සෞඛ්‍ය සම්පන්න දිගු ආයු කාලයක් හිමි වීම සතුටට කරුණක් වුවද, එයින් උද්ගත වන ජනගහන අසමතුලිතතාවය පාලනය කරගැනීමට ජපානයට ඉදිරියේදී තවත් බරපතල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත.
සටහන
කල්පනී ෂමල්කා




