කැපවීම සහ උත්සාහය කිසිවිටෙකත් අපතේ නොයන බවට කදිම නිදසුනක් සපයමින්, ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය හා කලා ක්ෂේත්‍රය ආලෝකවත් කළ අභිමානවත් මොහොතක් පසුගිය සැප්තැම්බර් 13 වනදා සටහන් විය. ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපතිනී, මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මහත්මිය අටවන වාර්ෂික ශ්‍රී ලාංකීය හොඳම 100 සම්මාන (The 8th annual Sri Lankan Top 100 Awards 2026) උළෙලේදී සම්මානනීය වීමයි.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මෙම කීර්තිමත් සම්මාන උළෙල මෙරට විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ජාතික තලයේ අමතක නොවන මෙහෙවරක් ඉටු කළ විශිෂ්ටයින් 100 දෙනෙකු ඇගයීමට ලක් කළ සුවිශේෂී වේදිකාවක් විය. එහිදී මහාචාර්ය කංකානම්ගේ මහත්මියට මෙම සම්මානය හිමි වූයේ සාහිත්‍ය හා රංග කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය විසින් දිගු කලක් පුරා කරන ලද අමිල දායකත්වය, නොපසුබස්නා කැපවීම සහ පෙන්වන ලද විශිෂ්ටතාව අගයමිනි.
විශ්වවිද්‍යාල ශ්‍රවණාගාර තුළ සහ දේශන ශාලා තුළ පමණක් නොව, ඉන් ඔබ්බට ගොස් සමාජයේ මනස් සංස්කරණය කිරීමෙහිලා ඇය ඉටු කරන මෙහෙවර අතිමහත්ය. හුදෙක් පරිපාලන වගකීම් දැරීමෙන් නොනැවතී, ඇය සතු දූරදර්ශී දැක්ම සහ ආශ්වාදජනක නායකත්වය පරම්පරා ගණනාවක සිසුන්ගේ ජීවිත අලුත් මාවත්වලට යොමු කිරීමට සමත් වී තිබේ. සිසුන්ගේ නිර්මාණශීලීත්වය පෝෂණය කරමින්, ඔවුන්ට ජීවිතයේ අභියෝග ජය ගැනීමට මඟ පෙන්වන කඩඉමක් ලෙස ඇයගේ මෙහෙවර හැඳින්විය හැකිය.
පෑනෙන් සාහිත්‍යය පෝෂණය කරමින්, රංග කලාවට ජීවය දෙමින්, දහස් සංඛ්‍යාත සිසු පරපුරකට දැනුමේ පහන් ටැඹක් වූ මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මහත්මියගේ මෙම ජයග්‍රහණය සමස්ත කලා ක්ෂේත්‍රයටම මහත් ආඩම්බරයකි.




