දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම 19 වැනි කිලෝමීටර කණුව ආසන්නයේදී අද (21) උදෑසන පාසල් සිසුන් ප්‍රවාහන රථයක් ඇතුළු වාහන 11ක් එකිනෙක ගැටී බරපතල රිය අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් පාසල් සිසුන් 6 දෙනෙකු ඇතුළුව තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කරන ආකාරයට, අධිවේගී මාර්ගයේ නතර කර තිබූ කැබ් රථයක පිටුපසින් පැමිණි පාසල් සිසුන් ප්‍රවාහන රථයක් ගැටී ඇති අතර, ඒ සමඟම තවත් වාහන කිහිපයක් එකිනෙක මත ගැටීමෙන් මෙම දාම රිය අනතුර සිදුව ඇත.
අනතුර හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ වාහන ගමනාගමනය තාවකාලිකව එක් මංතීරුවකට සීමා කෙරුණු නමුත්, මේ වන විට අදාළ මංතීරුව සම්පූර්ණයෙන්ම විවෘත කර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය යථා තත්ත්වයට පත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් තහවුරු කරයි.
කෙසේ වෙතත්, අනතුරට මුහුණ දුන් වාහනවල ගමන් ගත් පාසල් සිසුන් ඇතුළු පිරිස ආසන පටි පැළඳ සිටීම හේතුවෙන් සිදුවන්නට තිබූ මහා පරිමාණ මාරාන්තික අනතුරක් වළකා ගැනීමට හැකි වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.




