ලස්සන වෙන්න අපි ඇයි මේ තරම් මහන්සි වෙන්නේ?

    0
    8

    කැඩපත ඉදිරියේ නතර වී හිසකෙස් සකස් කරන මොහොතේ සිට, සම රැකගන්න ආලේපනයක් තෝරාගන්නා මොහොත දක්වා අපේ දවසේ කොතැනක හෝ “ලස්සන” කියන වචනය සැඟවී තිබෙනවා. ඒත් කවදාවත් ඔබට සිතුණාද, අපි ඇත්තටම ලස්සන වෙන්න මෙතරම් උනන්දු වන්නේ ඇයි කියලා?

    ලස්සන කියන්නේ කෙනෙකුගේ මුහුණ, සිරුර හෝ ඇඳුම ගැන පමණක් කියන කතාවක් නොවෙයි. එය අපි අප ගැන සිතන ආකාරයත්, සමාජය අපිව දකින ආකාරයත්, ඇතැම් විට අපි අන් අය සමඟ අපව සසඳන ආකාරයත් සමඟ බැඳුණු දෙයක්.

    අපි කෙනෙකු “ලස්සනයි” කියන විට බොහෝවිට එය අපේම තීරණයක් වගේ පෙනුණත්, ඒ තීරණය සම්පූර්ණයෙන්ම අපෙන් පමණක් පැමිණෙන්නේ නැහැ.

    සමාජයේ ජනප්‍රිය රූපලාවණ්‍ය ප්‍රමිතීන්, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෙනුම, සමේ පෙනුම, සිරුරේ හැඩය, ඇඳුම් විලාසිතා සහ වයස වැනි කරුණු අපේ “ලස්සන” පිළිබඳ අදහසට බලපෑම් කළ හැකියි.

    Kim සහ Lee ගේ පර්යේෂණයට සහභාගී වූ කාන්තාවන්ගෙන් තමන්ට “සංස්කෘතිකව ලස්සන” යැයි හැඟෙන කාන්තාවන්ගේ ඡායාරූපත්, තමන්ගේ පෞද්ගලික රුචිකත්වය අනුව ලස්සන යැයි සිතන කාන්තාවන්ගේ ඡායාරූපත් ලබාගෙන තිබුණා. එමඟින් සමාජය විසින් පිළිගන්නා ලස්සන සහ පුද්ගලයෙකු පෞද්ගලිකව දකින ලස්සන අතර වෙනස හඳුනා ගැනීමට ඔවුන් උත්සාහ කර තිබුණා.

    ඒ කියන්නේ අපි කැමති ලස්සනට වඩා, “සමාජය ලස්සන ලෙස පිළිගන්නේ කුමක්ද?” යන ප්‍රශ්නය ඇතැම්විට අපේ කැමැත්තටත් බලපෑම් කරනවා.

    කාන්තාවක් තමන්ගේ පෙනුම ගැන සිතන විට ඇය තනිවම කැඩපතක් ඉදිරිපිට සිටිනවා වගේ පෙනුණත්, ඇගේ සිතුවිලි තුළ තවත් බොහෝ දෙනෙක් සිටිනවා.

    “ඇය වගේ මටත් ලස්සන වෙන්න තිබුණා නම්…”

    “මගේ සමත් මෙහෙම තිබුණා නම්…”

    “මේ ඇඳුම මට ගැළපෙනවාද?”

    වැනි ප්‍රශ්න අපේම සිතුවිලිවල කොටසක් වෙන්න පුළුවන්.

    Kim සහ Lee පර්යේෂණයේදී සමාජ සංසන්දනය, සමාජ තරගකාරීත්වය සහ සමාජ සම්මතයන් කාන්තාවන්ගේ සුන්දරත්වය සම්බන්ධයෙන් බලපාන ප්‍රධාන පසුබිම් සාධක ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ලස්සන පිළිබඳ අපේ අදහස සමාජයෙන් සම්පූර්ණයෙන් වෙන් වූ පෞද්ගලික කැමැත්තක් නොවන බව පැහැදිලි වෙනවා.

    ලෝකයේ සෑම කාන්තාවක්ම එකම ආකාරයට ලස්සන දකින්නේ නැහැ.

    එක් සංස්කෘතියක සුන්දරත්වයේ සංකේතයක් වන පෙනුමක් තවත් සංස්කෘතියක එතරම් වැදගත් නොවිය හැකියි. Kim සහ Lee කළ පර්යේෂණයේදීත් දකුණු කොරියානු, චීන සහ ජපන් සහභාගී වූවන් අතර සුන්දරත්වය පිළිබඳ අදහස්වල පොදු ලක්ෂණ මෙන්ම එක් එක් සංස්කෘතියට විශේෂ වූ වෙනස්කම්ද හඳුනාගෙන තිබෙනවා.

    මෙම පර්යේෂණයට වයස අවුරුදු 20ත් 33ත් අතර කාන්තාවන් 60 දෙනෙකු සහභාගී වූ අතර, දකුණු කොරියානු කාන්තාවන් 18 දෙනෙකු, චීන කාන්තාවන් 25 දෙනෙකු සහ ජපන් කාන්තාවන් 17 දෙනෙකු සමඟ සාකච්ඡා පවත්වා තිබුණා.
    ඒ නිසා “ලස්සන විය යුත්තේ මෙහෙමයි” කියලා එකම මිනුමක් ලෝකයේ සෑම කාන්තාවකටම යෙදිය නොහැකියි.

    අවසානයේ වැදගත් වෙන්නේ…

    කැඩපතෙන් අපි දකින රූපයට වඩා, කැඩපතෙන් ඉවතට හැරුණු පසු අපි අප ගැන සිතන ආකාරය වඩා වැදගත් වෙන්න පුළුවන්. ලස්සන වෙන්න උත්සාහ කිරීමේ වරදක් නැහැ. නමුත් ඒ උත්සාහය අපේ සතුට වෙනුවෙන්ද, නැතිනම් අන් අයගේ පිළිගැනීම වෙනුවෙන්ද කියලා අපෙන්ම අහන්න වටිනවා. මොකද අවසානයේ ලස්සන කියන්නේ සමාජය අපට දෙන ලකුණක් නොවෙයි. එය අපි අප ගැන ගොඩනඟා ගන්නා වටිනාකමක්ද විය හැකියි.

    ඒ නිසා ඊළඟ වතාවේ කැඩපත ඉදිරියේ නතර වූ විට, “මම ලස්සනද?” කියලා අහනවා වෙනුවට,

    කියලා අහලා බලන්න.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here