පේරු ජනපති ධුරයට කාන්තාවක්

0
14

ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ පැවැති ජනාධිපතිවරණයෙන්, දක්ෂිණාංශික අපේක්ෂිකා කීකෝ ෆුජිමෝරි ජයග්‍රහණය කළාය. පැවැති ජනාධිපතිවරණය අතිශය තීරණාත්මක වූ අතර, අවසන් නිල ප්‍රතිඵල නිකුත් කෙරුණේ සති කිහිපයක සමාලෝචනයකින් අනතුරුවය.

පේරු මැතිවරණ අධිකරණය විසින් සහතික කරන ලද අවසන් ඡන්ද ප්‍රතිඵලවලට අනුව, 51 හැවිරිදි කීකෝ ෆුජිමෝරි ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 50.135 කි. ඇගේ ප්‍රතිවාදී වාමාංශික අපේක්ෂක රොබර්ටෝ සැන්චෙස්ට ලබා ගැනීමට හැකිවූ බව පැවැසෙන්නේ සියයට 49.865 ක ඡන්ද ප්‍රතිශතයකි. ඒ අනුව ෆුජිමෝරි මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ ඡන්ද 50,000 කටත් වඩා අඩු අතිශය සුළු බහුතරයකිනි. 

කීකෝ යනු පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වූ ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ දියණියයි. ඇය පේරු ජනාධිපති ධුරය වෙනුවෙන් තරඟ වැදුණු සිව්වැනි අවස්ථාව මෙය විය. 

මෙවර ඇය සිය ප්‍රධාන මැතිවරණ පොරොන්දුව ලෙස අවධාරණය කළේ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය. ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දැක්වූ කීකෝ ෆුජිමෝරි ප්‍රකාශ කළේ තමන් ජනාධිපති ධුරයේ වගකීම්, ‘වගකීම් සහගතව, නිහතමානීව සහ ගැඹුරු යුතුකම් බලයකින් යුතුව’ භාරගන්නා බවය.

තමන්ට ජයග්‍රහණය හිමිවූයේ ඉතා සුළු බහුතරයක් බව සිහිපත් කරමින් ඇය කියා සිටියේ, මෙම සංක්‍රාන්ති සමයේ සෑම දිනක්ම ජනතාවට සවන්දීමට, සංවාදයේ යෙදීමට සහ නව රජයේ කටයුතු සඳහා මනාව සූදානම් වීමට අවස්ථාවක් කරගන්නා බවය. 

lankadeepa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here