නිවුන් සංකල්පය පළමුවරට ලංකාවට හඳුන්වා දෙමින් උපුලී ගමගේ සහ චමලී ගමගේ සොයුරියන් විසින් පිහිටුවනු ලැබූ ‘ශ්‍රී ලංකා නිවුන් සංගමය’ අද වනවිට ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වී ඇත. ‘ශ්‍රී ලංකා නිවුන් සංගමය අද වන විට නිවුන් සාමාජිකයන් 28000කින් සමන්විතය. එය ජාත්‍යන්තර තලයට ගෙන යෑමට ඇපකැප වුණු උපුලී සහ චමලී ‘ලෝක නිවුන් සංගමයේ‘ උප සභාපතිනියන් ලෙස තේරී පත්වීමද ශ්‍රී ලාංකේය අපට ආඩම්බරයකි. ලෝක අවධානය දිනා සිටින ‘ශ්‍රී ලංකා නිවුන් සංගමය’ ශ්‍රී ලංකාවට ඩොලර් ගලා එන සෘජු මඟක් වන බව පවසමින් එහි සභාපතිනී උපුලී ගමගේ අප හා කතාබහට එක්වූවාය.

පසුගියදා චීනයේ පැවැති ලොව විශාලතම නිවුන් උලෙළේදී ලද සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් උපුලී පැවසුවේ මෙවන් අදහසකි.
“චීනයේ මෝජෑන් නුවර පැවැත්වුණු ලොව විශාලතම ජාත්‍යන්තර නිවුන් උලෙළේදී රටවල් 47ක් අබිබවා යමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. කණ්ඩායමේ කළමනාකාර අධ්‍යක්ෂ විදිහට කටයුතු කළේ මේජර් මහින්ද හෙට්ටිආරච්චි. කණ්ඩායමේ නිර්මාතෘ විදිහට මාත් එක්ක උලෙළට සහභාගී වුණු අනෙක් සාමාජිකයන් වුණේ නීතිඥ විදේශ් ද ලැනරෝල්, නීතිඥ නදීකර ද ලැනරෝල්, නර්තන ශිල්පිනියන් වන උමේෂි කාවින්ද්‍යා සහ උමාෂි කාවින්ද්‍යා. එතැනදි අපිට ක්ෂණිකව ඔවුන් ලබාදෙන ඉවෙන්ට් පහකට මුහුණ දෙන්න වුණා. ඊට අමතරව කලින්ම ලබාදීපු ඉවෙන්ට් එකක් තිබුණා. ඒ සඳහා අපි උඩරට, පහතරට නර්තන කොටස් එක්ක පන්දම් පාලියේ කොටසකුත් එකතු කරලා අපේ බෙරපදවලට නිර්මාණය කරගත් නර්තන අංගයක් ඉදිරිපත් කළා. ඊට අමතරව අපේ නිවුන් සංගමයෙන් නිවුන් ප්‍රජාව සම්බන්ධයෙන් ලෝකය හමුවට ඉදිරිපත් කරන යෝජනා වගේම ප්‍රායෝගිකව දියත් කළ වැඩසටහන් ගැනත් එහිදී ඉදිරිපත් කරන්න සිදුවුණා. ඒ සියල්ල සලකා බලා තමයි අපිට ජයග්‍රහණය හිමිවුණේ.“
අද වනවිට ලෝකයේම අවධානයට ලක්වී ඇති ශ්‍රී ලංකා නිවුන් සංගමයේ ආරම්භය පිළිබඳ මතකය අවදි කළ උපුලී,
“මමයි, මගේ නංගී චමලීයි මූලික වෙලා ශ්‍රී ලංකා නිවුන් සංගමය පිහිටුවන්නේ 1993 අගෝස්තු 23 වැනිදා. නිවුන් ප්‍රජාවගේ සුබසාධනය උදෙසා බිහිවූ එකම සහ පළමු සංවිධානය විදිහට මේ වෙද්දි 28000 ඉක්මවූ සාමාජිකයන් පිරිසක් ලියාපදිංචි වෙලා ඉන්නවා. අපි ඔවුන්ගෙන් කිසිම සාමාජික මුදලක් අයකරන්නේ නැහැ. ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන සෑම වසරකම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඔවුන්ගේ දක්ෂතා එළිදක්වන්න අවස්ථාව ලබා දී තියෙනවා. මේ වෙද්දි අපි ඔවුන්ගේ හැකියාවන් ජාත්‍යන්තරයටත් ගෙනිහින් තියෙනවා.
ලොව වැඩිම නිවුන්නු සංඛ්‍යාවක් එකතු වූ ‘නිවුන් අවුරුදු උළෙල‘ට හිමි වාර්තාවට හිමිකම් කියන්නත් අපිට පුළුවන් වුණා. ඒ වගේම ලොව ප්‍රථම නිවුන් ක්‍රිකට් කණ්ඩායම බිහිකිරීමේ ගෞරවය හිමිවෙන්නෙත් අපිට. ලෝකයේ පළමු වතාවට තුන් නිවුන් ක්‍රිකටර්ස්ලා හඳුන්වාදුන්නෙත් අපි. නිවුන් ක්‍රිකට් කණ්ඩායම ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩකයින් ඇරුණම විනිසුරුවරුන් වෙන්නෙත් නිවුන්නු. රටවල් 11ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ Twins Cricket League එකක් පැවැත්වීම තමයි අපේ මීළඟ උත්සාහය.“
ලොව පළමු වරට නිවුන් රූ රැජන තරගයක් පවත්වා ඇත්තේද ශ්‍රී ලංකා නිවුන් සංගමය වීම විශේෂත්වයකි.
“ලෝකයේ පළමු වතාවට නිවුන් රූ රැජන තරගයක් පවත්වලා තියෙන්නෙත් අපි. ලෝකයේ රූ රැජන තරග තිබුණට ඒවල රෑම්ප් එකේ මොඩ්ල් කරන්නෙ එක්කෙනයි. අපි Miss & Mr Twins Sri Lanka – 2023 කියලා පැජන්ට් එකක් කළා. ඒක කළේත් Miss & Mr Twins Global – 2026 කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ වගේම ලෝක නිවුන් රූ රැජන තරගයක් ලංකාවේ පවත්වන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. මෙතෙක් ලෝකයේ කිසිම රටක නිවුන් රූ රැජන තරගයක් පවත්වා නෑ. එහෙම තරගයක් පවත්වන්න යෝජනාව ගෙනාවේ මම. එයත් ඉදිරියේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.“

වැඩිම නිවුන්නු සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත නිවුන් උලෙළ පිළිබඳව ඇයට තිබුණේ මෙවන් බලාපොරොත්තුවකි.
“ලබන ඔක්තෝබර් 24 -28 දක්වා ලංකාවේ Global Twins Festival එකක් කරන්න සැලසුම් කරල තියෙනවා. ඒ ඔස්සේ ලෝකයේ වැඩිම නිවුන්නු සංඛ්‍යාවක් ලංකාවට ගෙන්වන්න බලාපොරොත්තු වෙනවා. එහි ආරාධනා පත්‍රය පසුගියදා චීනයේදී අපි ඔවුන් අතටම පත්කළා. ඔවුන් එන්නේ ඔවුන්ගේ රටේ නිල මාධ්‍ය ආයතනත් එක්ක. විශේෂයෙන්ම මෙවර ඔවුන් එක්ක ලෝක සාමය ගැන කතා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ලෝක සාම පණිවුඩය මෙවර අපි ලෝකයට දෙන්නේ නිවුන්නු හරහා. ඔවුන්ගේ රටවල සංස්කෘතික අංගයන් වගේම අපේ සංස්කෘතික අංගනනුත් ලෝකයට පෙන්වන්න එය අවස්ථාවක් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි නුවර, ආරුගම්බේ, සීගිරිය වගේ ලංකාවේ සුන්දර ස්ථාන නරඹන්නත් ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා. ගෝල්ෆේස් එකේ ටුවින්ස්ලගේ පෙරඩ් එකක් තියලා, ටුවින්ස් නයිට් එකක් තියන්නත් සැලසුම් කරලා තියෙනවා. මෙය අපේ රටේ සංචාරක කර්මාන්තයටත් ලොකු ආයෝජනයක් වේවි කියලා හිතනවා. මෙහිදි අපිට තියෙන ලොකුම වාසිය වෙන්නේ මේ දවස් කිහිපය තුළදී ඔවුන්ගේ සෝෂල් මීඩියා හරහා ලංකාව ලෝකයටම විවෘත වෙනවා. මේ සියල්ල අපිට තනියම කරන්න අපහසුයි. ඒ සඳහා රජයේ හෝ පෞද්ගලික ආයතනවල අනුග්‍රාහකත්වය ලැබෙනවා නම් ගොඩක් වටිනවා. ඔවුන්ගේ ව්‍යාපාරික සන්නාමය ලෝකයට විවෘත කරන්නත් මේක හොඳ අවස්ථාවක් වේවි.“
ලංකාවේ නිවුන් සංගමය ආරම්භ කළ අගෝස්තු 23 වැනි දිනය ලෝක නිවුන් දිනය ලෙස ප්‍රසිද්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලංකා නිවුන් සංගමයේ සභාපතිනී උපුලී ගමගේ සහ එහි ලේකම් චමලී ගමගේ මේ වනවිට ලෝක නිවුන් සංගමයේ උප සභාපතිවරියන් ලෙස කටයුතු කිරීමද අපේ රටට ආඩම්බරයකි.
rasanduna




