ක්‍රීඩාවෙන් දස්කම්පාන ළමා රංගන ශිල්පිනිය

    0
    12

    ඉසලි සහස්නා කරාටේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් ගෙන දුන් දක්ෂ පාසල් දැරියකි. ඒ වගේම ඇය ළමා රංගන ශිල්පිනියක් ලෙසද, ගුවන්විදුලි ළමා නිවේදිකාවක් ලෙසද සිය කලා හැකියාවන් විදහා දක්වන්නීය.

    ඉසලි කොහොමද ඉතින් ? කියන්නකෝ ඔයා ගැන විස්තර

    පාසල් වැඩ කටයුතු වගේම කලා කටයුතුත් කරගෙන හොඳින් ඉන්නවා. මගෙ වයස අවුරුදු අටයි. තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ හතර වසරේ මම ඉගෙන ගන්නේ. මම මුලින්ම ඉගෙන ගත්තේ නිට්ටඹුව, බ්‍රිටිෂ් වේ ජාත්‍යන්තර පාසලෙන්. මගෙ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මයි, මමයි.

    ඔයා වැඩිපුර දක්ෂ මොනාටද ඉසලි ?

    කරාටේ, නැටුම්වලට මම ගොඩක් දක්ෂයි. ඊට අමතරව මම නිවේදන කටයුතුත් කරනවා. මම ඉන්දියානු ගාන්ධර්ව සංගීත ප්‍රවේශිකා විභාගය සමත් වෙලා ඉන්නේ.

    ඉසලි කොහොමද කලා අංශයට යොමු වෙන්නේ ?

    දෙරණ, ස්වාධීන රූපවාහිනි, ශ්‍රද්ධා ටීවි යටතේ විකාශය වන කිඩ්ස් ටීවි, ජාතික රූපවාහිනිය, දිදුල රූපවාහිනී නාළිකා ඔස්සේ මගේ කලා හැකියාවන් පෙන්නලා තියෙනවා. ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ සේනක විජේසිංහ සර්ගේ මඟ පෙන්වීමෙන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නුවන් සංජීව මාමාගේ ‘බෝසත් දරුවෝ‘ පෝය දින ටෙලි නාට්‍යයට රඟපෑමෙන් දායක වුණා. ඒ වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සදේශ් ප්‍රියදර්ශන මහතාගේ ටෙලි නාට්‍යයක් වන ‘පූජනීය ආදරේ‘ ටෙලි නාට්‍යයේ ගෟරි කියන ප්‍රධාන චරිතය කරනවා. ඊට අමතරව STAR PRODUCTION එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. මම DIL ටීවි නාළිකාව එක්ක වැඩ කරලා අවුරුදු 4 දී පුංචි මාධ්‍යවේදිනියට හිමි හැදුනුම්පත ලබා ගත්තා.

    ඉස්සරහටත් කලා කටයුතුවලට ආරාධනා ලැබිලා තියෙනවද ?

    සුරේෂ් කුමාරසිංහ සර්ගේ ටෙලි නාට්‍යයකට කතා කරලා තියෙනවා. ඉදිරියට තවත් ආරාධනා ලැබුණොත් භාර ගන්නවා.

    කරාටේ ජයග්‍රහණ ගැන අපට කියන්නකෝ?

    මුලින්ම 2023 වසරෙදි ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, බංග්ලාදේශය හා ලංකාව අතර පැවැත්වුණු ජාත්‍යන්තර තරගයකින් කාතා සහ කුමිතෙ ඉසව් දෙකෙන්ම මම රන් පදක්කම් ලබා ගත්තා. ජාත්‍යන්තර කරාටේ තරග තුනකට සම්බන්ධ වෙලා ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා.

    2024 වසරෙදි දකුණු පළාත් කාතා, කුමිතෙ ඉසව්වලින් රන් පදක්කම් දිනා ගත්තා. මේ වෙනකොට මම චෙස්, පිහිනුම් ක්‍රීඩා දෙකත් ඉගෙන ගන්නවා.

    ඔයා නටන්නත් දක්ෂයිලු නේද?

    ඔව් මම 2025 වසරෙදි ජපානය, ජර්මනිය, තුර්කිය, තායිලන්තය, ඉන්දියාව යන රටවල් එක්ව සංවිධාන කරපු ‘අලුත් සහල් මංගල්‍ය‘ ගැමි නර්තන වෙනුවෙන් සහතික පත් හා රන් පදක්කම් ලබා ගත්තා. ඒ හරහා මට තායිලන්තයේ පවත්වන නැටුම් තරග වලට සම්බන්ධ වෙලා තරග කරන්න සුදුසුකම් හිමි වුණා. තවත් ඒ වගේම ජාත්‍යන්තර තරග ඉසව් දෙකකට සම්බන්ධ වෙන්න මට පුළුවන් වුණා.

    මේ හැමදේටම කවුද උදවු කරන්නේ ?

    මගෙ අම්මයි, තාත්තයි, සීයා තාත්තයි තමා. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා වන රෙජිත් පද්මලාල් සර්, තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කල්‍යාණි මැඩම් මගේ හැකියාවන් ඉදිරියට ගෙනියන්න උදවු කරනවා. ඒ වගේම පන්ති බාර ගුරුතුමිය දිලිනි තාරකා මිස්වත් මතක් කරන්න ඕන.

    අනාගත බලාපොරොත්තුව මොකක්ද ඉසලිගේ?

    මම කැමතියි වෛද්‍යවරියක් වෙන්න. ඒ ගමන් නිවේදනය, රංගනය ගැන වැඩිදුරටත් ඉගෙන ගන්නත් රංගනය හා නිවේදන කටයුතවලට සම්බන්ධ වෙන්නත් කැමැතියි.

    මේ වෙලාවේ විශේෂයෙන් කාවද මතක් කරන්නේ?

    ප්‍රවීණ මාධ්‍යවේදී නදීක කරුණානායක සර්, ලක්ෂාන් මනුරංග සර්, කසුනි නානායක්කාර මිස්, කුමාරි ගුණරත්න මිස්, ප්‍රසන්න චන්දන බණ්ඩාර සර්, සුජීව මානගේ සර්, පාසලේ විදුහල්පතිතුමා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කල්‍යාණි මැඩම්, පන්ති භාර ගුරුතුමිය මේ හැමෝටම ගොඩක් ස්තුතියි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here