
ආදර ගඟුලක ඉවුරේ රැඳී, ආදර සුබා, අමරස පෙම් රසයෙන්, අනන්තයට මා ඉඟිලෙන, ආත්ම ගණනක සිතුවිලි අතරේ, ඔබගේ හද මාගේමයි, හිරු ගෙනැවිල්ලා පුතු ළඟ තනියට තියලා, කිරි කැටි පුතනුවණේ, රත්තරන් මැණික් මුතු මොකටද මේවා, වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා, සන්සුන් රුවන් හද මන්දිරයේ ආදි වශයෙන් එක පෙළට සිත අද්දර සෙනෙහසින් තුරුලු වන ගීත කිහිපයකම ආදරණීය හඬ මාධුර්යය ශ්‍රීමතී තිලකරත්න නම් වූ ප්‍රතිභාපූර්ණ ගායනවේදිනියගේය. ගුවන්විදුලියේ ඉහළම ශ්‍රේණියේ ගායන ශිල්පිනියක වූ ඇය චිත්‍රපට ගණනාවකට ද පසුබිම් ගීත ගායනා කර ඇත.
“අපේ තාත්තා කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාව කළා. ඒ නිසා තාත්තා හිටියේ කොළඹයි. අපි මාතර හක්මණ ගමේ ජීවත් වුණා. ගමේ ජීවිතය හරිම සුන්දරයි. නමුත් මට වැඩි කාලයක් ගමේ ඉන්න ලැබුණේ නැහැ. අපේ තාත්තාට ඕනෑ වුණේ අපිව කොහොම හරි කොළඹට එක්කගෙන යන්නයි. අපේ අක්කලා මාතර ඉස්කෝලේ ගියා. මාව අක්කලා ගිය ඉස්කෝලෙට දැම්මාට මාස දෙකක්වත් යන්න ලැබුණේ නැහැ. තාත්තා අපිව කොළඹට එක්කගෙන ආවා. බොරැල්ලේ සියලු ශාන්තුවරයින්ගේ බාලිකා පාසලට තාත්තා මාව දැම්මා. පළමු පන්තියේ සිට දහයේ පන්තියට එනකන් මම ඒ පාසලේ ඉගෙන ගත්තා. ඒ අතරේ අම්මා මාව ගුවන්විදුලියට එක්කගෙන ගිහින් ළමා පිටියට යොමු කළා. නන්දා ජයමාන්න, මඩවල එස්. රත්නායක වැනි ප්‍රවීණයන් ඒ කාලේ ගුවන්විදුලියේ කළ වැඩසටහන්වලට මම සම්බන්ධ වුණා. විවිධ ගායන තරගවලට මම ඉදිරිපත් වුණා. ඒවායින් ජයග්‍රහණ ලැබුවා. ගායන ශ්‍රේණිගත කිරීම්වලට ඉදිරිපත් වුණා. ඒ හැම එකකින්ම ජය ලබමින් අවසානයේ ගුවන්විදුලියේ ‘ඒ‘ ශ්‍රේණියේ ගායිකාවක් බවට පත් වුණා. අවසාන ගායන පරික්ෂණය විනිශ්චය කරන්න භාරතයේ ප්‍රවීණ සංගීතඥයින්, ගායන ශිල්පීන් පැමිණ සිටියා. ගායන ක්ෂේත්‍රයට මං සම්බන්ධ වෙනවාට මගේ තාත්තා කැමති වුණේ නැහැ.
තාත්තා හැම වෙලාවකදීම කිව්වේ මේ ක්ෂේත්‍රය හොඳ නැහැ. රැඳී ඉන්න පුළුවන් තැනක් නෙවෙයි. ගැහැනු දරුවෙකුට කොහොමටත් සුදුසු නැහැ. ඒ නිසා ඕවාට යන්න එපා කියලා. ඒත් මං සිංදු කියනවාට අම්මා ගොඩාක් කැමති වුණා. තාත්තා හිටියේ කොළඹ නැවතිලා, ඒ කාලේ අද වගේ යන එන ගමන් කිය කියා යන්න එන්න ජංගම දුරකතන තිබුණේ නැති නිසා තාත්තාට නොකියා අම්මා මාව ගීත ගයන්න එක්කගෙන ගියා. ඒ කාලේ පටිගත කිරීම් හරිම දුෂ්කරයි. පටිගත කිරීම් ස්ථාන තිබුණේත් බොහෝ දුර තැන්වල. සමහර පටිගත කිරීම්වලට අම්මා මාතර ඉඳලා මාව කොළඹ එක්කගෙන ආවා. ඒ ආවාම පටිගත කිරීම කොළඹ නැහැ කියලා ආයෙමත් ශබ්දාගාරය හොයාගෙන යන්න සිද්ධ වුණා. අද වගේ අන්තර්ජාල සිතියම් දුරකතනයෙන් හොයා ගන්න ඒ කාලේ පුළුවන් වුණේ නැහැනේ. පටිගත කිරීම් කරලා අම්මායි, මායි ආයෙම මාතරට යන්නත් ඕනේනේ. කොහොම හරි දුෂ්කරතා විඳගෙන මේ ගමන ආවා. අම්මා සෙවණැල්ලක් වගේ මගේ පස්සෙන්ම හිටියා. තාත්තාගේ විරුද්ධත්වයත් ටික ටික අඩු වෙලා ගියා.“
‘මාතලං‘ චිත්‍රපටය නිර්මාණය කළ ආර්. මුත්තුසාමි මහතා විසින් පවත්වන්නට යෙදුණු ගායක ගායිකාවන් තෝරා ගැනීමේ තරගයකට ඉදිරිපත් වුණු ශ්‍රීමතී තිලකරත්න එයින් පළමු වැනි ස්ථානය දිනා ගනිමින් චිත්‍රපට පසුබිම් ගායනය සඳහා වරම් හිමි කර ගත්තාය. ඒ අනුව ‘අට වැනි පුදුමය‘ චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක් වෙමින් ඇය චිත්‍රපට ගායන ක්ෂේත්‍රයට පිවිසියාය. ප්‍රවීණ ගායන ශිල්පී ජේ. ඒ. මිල්ටන් පෙරේරා සමඟ ඇය එහිදී ගීතය ගායනා කළාය. පසුව තිමති වීරරත්න ඇය හමුවී ඔහුගේ ‘දැවෙන පිපාසය‘ චිත්‍රපටය සඳහා එච්. ආර්. ජෝතිපාල ගායන ශිල්පියා සමඟ සහය ගායනයට ඇයට ඇරයුම් කළේය. ඒ අනුව ඇය ගී ගැයුවාය. පසුව ‘කේසර සිංහයෝ‘ චිත්‍රපටයට ද පසුබිම් ගී ගැයුවාය. පසුව ශ්‍රීමතී චිත්‍රපට රැසකටම පසුබිම් ගායනයෙන් සම්බන්ධ වූවා ය.
“කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, ලලිත් එස්. මෛත්‍රීපාල, ප්‍රේමකීර්ති ද අල්විස් වගේ ප්‍රවීණයින් මට ගී පද රචනා ලබා දුන්නා. සනත් බාලසූරියත් මට ගීත කිහිපයක්ම ලියලා දුන්නා. චිත්‍රපට පසුබිම් ගීතත් ඒ අතර තියෙනවා. ප්‍රේමකීර්ති ලියූ බොහෝ ගීත මගේ ජීවිතයට ගොඩාක් සම්බන්ධයි. හරියට ඒවා මගේ ජීවිතය දිහා බලාගෙන මටම ලිව්වා වගෙයි. නමුත් ඒ එක ගීතයක්වත් මම ප්‍රේමකීර්තිට කියලා ලියව ගත්ත ඒවා නෙවෙයි. ප්‍රේමකීර්ති මං ගැන, මගේ ජීවිතය ගැන දැනගෙන ලියපු ගීතත් නෙවෙයි. තේවිස් ගුරුගේ මහතාගේ මූලිකත්වයෙන්, ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මිය ඒ කාලේ ගුවන්විදුලියේ කළ ‘ජන ප්‍රසංගනී‘ වැඩසටහනට මටත් එන්න කියලා ආරාධනාවක් ලැබුණා. එතකොට මම විවාහ වෙලා හිටියා. මම සිංදු කියන්න යනවට මගේ මහත්තයාගේ අම්මා කැමති වුණේ නැහැ.
මම මගේ සැමියාට තිබුණු ආදරය නිසා එයාගේ අම්මාගේ අකැමැත්තෙන් සිංදු කියන්න ගියේ නැහැ. එහෙම ඉන්න අතරේ තමයි රාණි පෙරේරා ශිල්පිනිය එයාගේ මහත්තයා අතේ මගේ මහත්තයාට කියලා එවලා තිබුණේ මාව ගුවන්විදුලියට එවන්න කියලා. මම නොඑන බව දැනගෙන රාණී මහත්මිය ගෙදරටම ඇවිත් අපේ නැන්දණියට පැහැදිලි කරලා දුන්නාම මට ඒ වැඩසටහනට යන්න අවසර ලැබුණා. මම වැඩසටහනට ගියා. එතැනදී මට වික්ටර් රත්නායකයන් හමු වුණා. ඔහු මගේ ගීතවලට තනු නිර්මාණය කළා. ඒ වැඩසටහන් ගොඩාක් ජනප්‍රිය වුණු වැඩසටහන් නිසා ඒ කාලේ බොහෝ ගායක ගායිකාවන් ඒ වැඩසටහන නිසා ම ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඉතින් මමත් ඒ වැඩසටහනට සම්බන්ධ වෙලා ගීත ගායනා කළා. මගේ ගීත බොහොමයක් ඒ වැඩසටහනෙන් ජනප්‍රිය වුණා. කාලයක් යද්දි මගේ ජනප්‍රියත්වයත් එක්කම කැපිල්ල කියන දේත් මගේ සෙවණැල්ල වගේ පසුපසින් ආවා. සමහර කෙනෙහිලිකම් මට දරා ගන්නත් අමාරු වුණා. මම පසුබැස්සා. ඒත් නිෂ්පාදකවරුන්, සිනමා අධ්‍යක්ෂවරුන් මාව අතහැරියේ නැහැ. කැපිලි, කෙටිලි බාධක මැද වුවත් මට චිත්‍රපට පසුබිම් ගායනා ලැබුණා. මම ඉලක්කම් ගණන් ගීත ගයලා නැති වුණත් අදටත් රසික පිරිසගේ හදවත්වල මං සිටින බව ඒ අයගෙන් ලැබෙන සජීව ප්‍රතිචාරවලින් දැනෙනවා. මට ඒ සතුට ඇති.“
ජීවිතයේ බොහෝ දුර පැමිණි ගමනේ අදටත් ඇයගේ ගී හඬෙහි මිහිර විඳින පරපුරක් සිටීම ඇයට ඉමහත් ගෞරවයකි. ඒ ගී රස විඳීමෙන් නොසෑහී තමන්ගේ ගීතයක සහය ගායනයට එක් කර ගන්නට නූතන පරපුරට සිත් පහළ වීම බෙහෙවින් අගයමු.

“කවින්ද්‍ර කල්හාර පුතා ගායනා කරන අලුත්ම ගීතයකට මාව සම්බන්ධ කර ගත්තා. ‘අහස් ගව්ව පුරා යන්න හීන ගේන තරු හොයන්න‘ ගීතය යූටියුබයට මුදා හැර තිබෙනවා. බුද්ධික විදානගේ ඒ ගීතය රචනා කර, දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළා. ඒ ගීතය මට ගොඩාක් සංවේදී වුණා. හරියට මගේ පොඩි පුතා මගේ ළඟ ඉඳන් ගීතය ගයනවා වගේ හැඟීමක් ගීතය පටිගත කරද්දි මට දැනුණා. ගීතය අවසානයේ මගේ ඇස්වලට කඳුළු පිරුණා. අපි දැන් වයස්ගතයි. අලුත් දරුවෙක් මේ වගේ වයසකදි මට එයා එක්ක ගීතයක් ගායනා කරන්න ආරාධනා කිරීම අපේ අනාගත පරපුර ගැන හරිම ආදරණීය සුබදායී බලාපොරොත්තුවලින් මගේ සිත පුබුදු කළා. ඒත් කවින්ද්‍ර පුතා මට කතා කළ සැණින් ගීතයක් පටිගත කරන්න කැමැත්ත දුන්නේ නැහැ. ඒකට හේතුව දැන් මගේ වයසත් එක්ක කටහඬ හරියයි ද දන්නේ නෑ කියලා මට හිතුණා. කවින්ද්‍ර මට කතා කළාම මම මුලින්ම ඇහුවේ කවුරු ලියූ ගීතයක් ද ගයන්න තියෙන්නේ කියලා යි. එතකොට කවින්ද්‍ර පුතා කිව්වේ තවම ගීතයක් ලියලා නැහැ, එයා ආසයි මාත් එක්ක ගීතයක් ගයන්න, මොන වගේ ගීතයකට ද කැමති කියලා.
පුංචි කාලේ ඉඳලා කවින්ද්‍ර පුතා මගේ ගීතවලට කැමැත්තෙන් හිටියා කියලා කිව්වා. මම කිව්වා මවුපිය ගුණ, බොදු ගීත වගේ එකක් දැන් මට ගැළපෙනවා කියලා. මගේ දරුවෝ මං ගැන බලන විදිහ ගැන දවසක් අපි කතා කරන වෙලාවක මම නිකමට කවින්ද්‍ර පුතාට කිව්වා. අන්තිමට එයා මගේ පොඩි පුතා සහ මම ගැන විස්තර ගළපමින් බුද්ධික විදානගේට කියලා ‘අහස් ගව්ව‘ ගීතය රචනා කරවගෙන තිබුණා. ඒ ගීතයේ තියෙන්නේ ළඟින් ඉන්න බැරි වුණාට පුතෙක් තමන්ගේ අම්මා රැකබලා ගන්නේ මොන ආකාරයෙන් ද කියන අදහසයි. ඒ ගීතය ඇහෙන හැම මොහොතකම මට මගේ දරුවෝ මතක් වෙනවා. ඒ දරුවන්ව මට දුන්නු මගේ ගුණ යහපත්, ආදරණීය ස්වාමිපුරුෂයාවත් මතක් වෙනවා. ඉතින් කඳුළු නොනැඟී තියෙන්න විදිහක් නැහැනේ.“
ශ්‍රී ලංකාවේ අති දක්ෂ සර්පිනා වාද්‍ය ශිල්පියෙක් වූ මහින්ද තිලකරත්න දැන හඳුනාගැනීමෙන් පසු දවසක ඔහු සහ ශ්‍රීමති විවාහ දිවියට ඇතුළු විය. ඔවුන්ට දරුවන් තුන්දෙනෙකු ලැබුණි.
“අපට පුතාලා දෙන්නයි, දුවයි. පුතාලා දෙන්නා කොළඹ ඩී. එස්. සේනානායක විදුහලෙන් ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ අවසන් කළ විගසම මගේ පෞද්ගලික වියදමින් මම පුතාලාව භාත්ඛණ්ඩෙට යැව්වා. ඒ දෙන්නා හොඳින් ඉගෙනගෙන ආවා. දුවව නම් මං කොහේවත් යැව්වේ නැහැ. මං දුවත් එක්ක ම හිටියා. බොහෝ විදේශ සංචාර දුව ලංකාවේ දාලා යන්න බැරි නිසා ප්‍රතික්ෂේප කළා. මගේ මහත්තයා ප්‍රධාන සර්පිනා වාද්‍ය ශිල්පියා හැටියට මොහිදින් බෙග් මාස්ටර් එක්ක විදේශ ප්‍රසංග ගණනාවකට සහභාගි වුණා. විදේශ රටවලත්, ලංකාවේත් පැවැත්වුණු බොහෝ ප්‍රසංගවලට මගේ මහත්තයා වාදනයෙන් එක් වුණා. මං නැතුව විදේශ රටවලට ගියාම එයා ගොඩාක් දුක් වුණා. ඒත් දුවගේ ආරක්ෂාව ගැන සිතලා එයා සැනසුණා. දරුවෝ හොඳින් ඉගෙන ගත්තා. සංගීත පැත්තෙනුත් විශාරද කළා. සංගීත් නිපුන් කළා. පොඩි පුතා දිමුතු තිලකරත්න ලක්නව්වල පාසලක සංගීත ගුරුවරයෙක් හැටියට ඉගැන්වීම් කටයුතුත් කළා. පස්සේ එයා ලන්ඩන්වල විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ගෙන දැන් විවාහ වෙලා ලන්ඩන්වල ජීවත් වෙනවා.
එයා හරියට මං ගැන බලනවා. ලොකු පුතා බිනන්ද තිලකරත්න කාලයක් ඉන්දියාවේ ඉඳලා දැන් ලංකාවේ ඉන්නවා. එයාට පුතෙක් ඉන්නවා. මගේ දුව ශ්‍රීමදු තිලකරත්න කොළඹ ශාන්ත පෝල් විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. දුවත් විවාහ වෙලා විදේශගත වුණා. එයාටත් දැන් දරුවෝ ඉන්නවා. පුළුවන් හැම වෙලාවකම ලංකාවට දුවගෙන ඇවිත් මං ගැන බලනවා. මට එයා ළඟට එන්න කියනවා. ලංකාව වගේ මට ඒ තැන්වල කාලගුණ දේශගුණ වෙනස්වීම්වලට මුහුණ දෙන්න බැරි නිසා මං යන්නේ නැහැ. මහින්දයි, මමයි ගෙදර ඉඳලා දරුවෝ එක්ක වීඩියෝ කෝල්වලින් සම්බන්ධ වෙලා අපි එකට සිංදු කියනවා. ළමයි සමහර ඒවා මහින්දගෙන් අහලා ඉගෙන ගත්තා. මහින්දට හරි ලස්සනට ගීත ගයන්න පුළුවන්කම තිබුණත් එයා සර්පිනාවට ආදරය කළා මිස ගීත ගයන්න කිසි උනන්දුවක් දැක්වූයේ නැහැ.
ඒත් එයා ගීත කිහිපයක් ගායනා කරලා තියෙනවා. ළමයි මං ගැන කොහොම බැලුවත් මහින්ද නැති පාළුව මට නිරතුරුවම දැනෙනවා. එයා අවුරුදු අසූවෙන් නැති වුණා. ලෙඩක් දුකක් තිබුණේ නැහැ. හදිසියේ එයා නැති වුණා. මහින්දයි, මමයි හිටපු ගෙදර මගේ හුස්ම ටිකත් කවදා හරි දවසක නතර වනතුරු මං ඉන්නවා. මං පුළුවන් තරම් පිං කරනවා. දන් දෙනවා. සිල් රකිනවා. මහින්ද අවසන් හුස්ම හෙළද්දි මං එයා ළඟම සිටියා. මං පිරිත් කිව්වා. ආදරෙන් ළං වෙලා ඉඳලා එක්කෙනෙක් අත්හැරුණාම දැනෙන හැඟීම ඇති මේ සසරේ බියකරු බව අවබෝධ කරගන්න කියලා මම නිතර ම හිතනවා. සංගීතය කියන්නේ ඉතාම සංවේදී කලාවක්. ඒ සංවේදී කලාව ඇසුරෙන් අපි ගායනා කරන ගීත ශ්‍රවණය කරද්දී ශ්‍රාවකයින්ගේ සිත්වල හැඟීම් වඩවනවා. ඒ ගැඟීම් ඔස්සේ පෘතග්ජන මිනිසුන් කිනම් කාර්යයක් සඳහා පොලොඹවයි ද කියලා හිතාගන්න බැහැ. බුදු දහම අනුව ගැඹුරට කල්පනා කරද්දි අද මට හිතෙනවා සංවේදී ගීත ගායනා කරලා, ශ්‍රාවකයින්ට රස හැඟීම් දීලා මම අකුසල කර්ම රැස් කර ගත්තා නේද කියලා. නච්ඡ, ගීත, වාදිත, විසූක දස්සන කියන්නේ වැළකිය යුතු දේවල් කියලා බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා.
ඒ කියන්නේ නැටුම්, ගීත, වාදන, නාට්‍ය ආදියයි. ඉතින් මමත් මේ හතරෙන් එකක ඉන්නවා. මම ජීවිතය දිහා දැන් බලන්නේ ඒ විදිහටයි. හැබැයි මට ආපහු හැරිලා බලද්දි එක සතුටක් තියෙනවා. මම කාගෙවත් කකුලෙන් ඇදලා, තව කෙනෙකුගේ අවස්ථාවන් නැති කරලා ගායන ක්ෂේත්‍රයේ බැබළුණේ නැහැ. මට වෙන අයගෙන් එහෙම වෙද්දි මම හඹාගෙන ගියෙත් නැහැ. පසුබැහැලා නිහඬ වුණා. අදටත් මම සතුටින් ඉන්නේ ඒ නිසයි.“




