අපේ දරුවන් පිරිපුන් මිනිසුන් කරන්න ඔස්ට්‍රේලියාවෙන් පාඩමක්… | ආචාර්ය රසිකා කුමාරසිංහ

    0
    10

     වසර විස්සකට ආසන්න කාලයක් මගේ ජීවිතය ගෙවී ගියේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේය. මගේ දරුවන් දෙදෙනා උපන්නේද, හැදී වැඩුණේද එහිමය. අදත් ඇතැම් අවස්ථාවල අහම්බෙන් මතකයට නැගෙන සිදුවීම් අතරින් එකක් මට ඉතා පැහැදිලිව සිහි වේ.


    මීට වසර කිහිපයකට පෙර අපි ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යන්තයේ අපගේ ගුවන් යානයට අදාළ ගේට්ටුව අසල අසුන් ගෙන සිටියෙමු. ගුවන් ගත වීමට තවත් වේලාව තිබූ නිසා අවට බොහෝ පවුල්ද නිහඬව බලා සිටියහ.

    අපට ඉදිරියෙන් තිබූ අසුන් පේළියේ තවත් පවුලක් වාඩි වී සිටියේය. මවක්, පියෙක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාය. ඒ දරුවන්ගේ වයස පෙනුමෙන් මගේ දරුවන්ගේ වයසටම සමීපය. කතාබහ අතරතුර ඇය පැවසුවේ නිවාඩුවක් ගත කිරීමට ඔස්ට්‍රේලියාවට පැමිණි ඔවුන් නැවත ලංකාව බලා යන බවයි.

    ඒ දරුවන් දෙදෙනාගේ අත්වල නවීනතම “smart” දුරකථන දෙකක් විය. කනේ “wireless earphones” ය. ඔවුන්ගේ ඇස් තිරවලටම ඇලී තිබුණි.

    මගේ දරුවන් දෙදෙනා මගේ දෙපස නිහඬව අසුන් ගෙන තමන්ගේ පොත් කියවමින් සිටියහ. ලෝකය වටේ ඝෝෂාවෙන් පිරී තිබුණත්, ඔවුන් දෙදෙනා සිටියේ තමන්ගේම කුඩා ලෝකයකය.

    එකවරම ඉදිරියේ සිටි කාන්තාව මගේ දරුවන් දෙස බලා සිනහවකින් යුතුව මගෙන් ඇසුවාය.

    “අනේ… ඔයාගෙ බබාල පොත් කියවනවා නේද? ඔයා කොහොමද එයාලට පොත් කියවන්න ඉගැන්නුවේ?”

    ඇය එසේ අසද්දී මගේ බැල්ම නොදැනුවත්වම ඇගේ අත වෙත ගියේය. ඇය තම දුරකථනයෙන් මුහුණු පොතේ සැරිසරමින් සිටියාය.

    මගේ දුරකථනය තිබුණේ අත්බෑගයේය.

    මගේ අතේ තිබුණේ මම කියවමින් සිටි පොතය.

    මගේ දරුවන්ටද “smart” දුරකථන තිබුණි. ඔවුන්ට iPad තිබුණි. නවීන laptop පරිගණකද තිබුණි. එහෙත් ඒ කිසිවක් ඔවුන්ගේ පොත් අතරට පැමිණ නැත. ඔවුන් කියවන්නට පුරුදු වූයේ මම බල කළ නිසා නොවේ.

    ඔවුන් දකිමින් වැඩුණේ ඒ ජීවිතයයි.

    ගෙදර නිහඬ සන්ධ්‍යාවක අම්මා පොතක් කියවනු ඔවුන් දුටුවෝය. ගමනකදී කාලය ගත කිරීමට තිරයක් නොව, පොතක් තෝරා ගන්නා අයුරු ඔවුන් දුටුවෝය. අපි පොත් ගැන කතා කළෙමු. කතන්දර ගැන සිනාසුණෙමු. සුරතලයට ඇති කරන මකරුන් ගැන සිහින මැව්වෙමු. පොත් වල වචන අතර, චරිත අතර ජීවත්වීම අපේ ගෙදර සාමාන්‍ය දෙයක් විය.

    දරුවන්ට අප කියන දේවල් හැමවිටම ඔවුන් අනුගමනය නොකරති. නමුත් අප ජීවත් වන ආකාරය ඔවුන් නිහඬවම ඉගෙන ගනිති. කියවීම මගේ ජීවිතයේ කොටසක් වූයේ, මට දායාද වූයේ මා වැඩූ හැදූ මාගේ දෙමාපියන්ගෙනි.
     

     “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” යන කියමන අප සැවොම අසා ඇති ප්‍රසිද්ධ අදහසකි. පොතක් කියවීම මගින් මිනිසාගේ දැනුම, සිතුවිලි, සංවේදනාව සහ ජීවිතය දෙස බලන ආකාරය පුළුල් වන බව එයින් අදහස් කෙරේ. අතීතයේදී ශ්‍රී ලංකාවේ පොත් කියවීම දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ දෛනික ජීවිතයේ වැදගත් කොටසක් විය. පාසල් පුස්තකාල, පත්තර කියවීම, කතාපොත් හුවමාරු කිරීම සහ සඟරා කියවීම සංස්කෘතියේ සාමාන්‍ය අංගයක් වශයෙන් පැවතිණි.

     
    එහෙත් වර්තමානය වන විට එම තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බව පෙනේ. විශේෂයෙන්ම ලාංකික දරුවන් සහ තරුණ පරපුර තුළ කියවීමේ පුරුද්ද පෙර මෙන් නොපවතින බව බොහෝ දෙනාගේ අදහසයි. තරුණ පරපුර වැඩි කාලයක් ගත කරන්නේ ජංගම දුරකථන, සමාජ මාධ්‍ය සහ කෙටි වීඩියෝ අතරය. තත්පර කිහිපයකින් විනෝදාස්වාදය ලබාදෙන මෙම මාධ්‍යයන් හේතුවෙන් දිගු ලිපියක් හෝ පොතක් කියවීමට අවධානය යොමු කිරීම දුෂ්කර වී ඇත.


    මීට අමතරව අද පාසල් අධ්‍යාපන ක්‍රමය ද විශාල වශයෙන් තරගකාරී විභාග ක්‍රමය මත කේන්ද්‍රගත වී ඇත. බොහෝ දරුවන් පොත් කියවන්නේ විභාගයට අවශ්‍ය කරුණු මතක තබා ගැනීම සඳහා පමණි. නිදහස් කියවීම, විනෝදය සඳහා කියවීම සහ අලුත් අදහස් සහ දැනුම සොයාගැනීම සඳහා කියවීම අඩුවී තිබේ. ටියුෂන් සංස්කෘතිය ද දරුවන්ගේ නිදහස් කාලය සීමා කර ඇත. පාසල්, අමතර පන්ති සහ ගෙදර වැඩ අතර ඔවුන්ට පොතක් අරගෙන නිදහසේ කියවීමට කාලය ඉතිරි නොවේ.
     
    තවද බොහෝ පාසල්වල පුස්තකාල ප්‍රමාණවත් ලෙස භාවිතා නොවීමද ගැටලුවකි. සමහර පාසල්වල නව පරපුරට ගැළපෙන පොත් නොමැති අතර, ආර්ථික අපහසුතා හේතුවෙන් සමහර දරුවන්ට නිවසේදී පොත් මිලදී ගැනීමේ හැකියාවද සීමිතය.
     
    ලංකාවේ සමාජය තුල ප්‍රොපගැන්ඩා හරහා දරුවන් තුල ස්ථාපිත කිරීමට උත්සහ කරන දියුණු රටවල්වල පවතිනවායැයි කියන “tech era” සහ “smart” යන පුහු සංකල්පත් මෙම තත්වයට බලපා ඇත. පොත් පත්තර කියවීමේ සංස්කෘතිය යල් පැන ගිය හණ මිටි අදහසක් ලෙස උලුප්පා දියුණු වීමට නම් “smart phone” භාවිතය අත්‍යවශ්‍ය යැයි යන බොරුව සමාජ ගත කරන්නට වෙර දරන ලංකාවේ කියවීම සම්බන්ධයෙන් දරුවන් තුළ උනන්දුවක් ඇතිවීමට අවශ්‍ය පරිසරයක් නොමැත.
     
    මා ජීවත් වන ඔස්ට්‍රේලියාව සහ එවැනි දියුණු සහ පොහොසත් රටවල පාසල් පද්ධතිය තුළ කියවීම විශේෂයෙන්ම දිරිගන්වනු ලබයි. එරට පාසල්වල කියවීම විෂය කරුණු ඉගෙනගැනීමේ ක්‍රියාවලියක් පමණක් නොව, ජීවිත කුසලතාවක් ලෙස සැලකේ.
     
    ඔස්ට්‍රේලියාවේ ප්‍රාථමික පාසල්වල කියවීම (reading literacy) ප්‍රවර්ධනය කිරීම සඳහා පාසල්, ගුරුවරුන්, පුස්තකාල, සහ දෙමාපියන් එකට ක්‍රියාකරන පද්ධතිමය ක්‍රම භාවිතා කරයි.

    මෙහි ප්‍රධාන ක්‍රම කිහිපයක් වන්නේ;

    1. දිනපතා කියවීමේ කාලය වෙන් කිරීම

    බොහෝ පාසල්වල දිනපතා “reading time” හෝ “silent reading” වේලාවක් තිබේ. ළමයින් තමන් කැමති පොත් කියවීමට උනන්දු කරයි.

    2. Phonics සහ Literacy Programs

    Foundation (හෝඩිය පන්තියට සමාන) සිට කුඩා ශ්‍රේණිවලදී අකුරු හා ශබ්ද සම්බන්ධතාවය ඉගැන්වීමට phonics ක්‍රම භාවිතා කරයි.
උදාහරණ ලෙස:
    • synthetic phonics
    • guided reading
    • shared reading

    මෙම ක්‍රම ළමයින්ට වචන හඳුනාගෙන නිවැරදිව කියවීමට උපකාරී වේ.

    3. පාසල් පුස්තකාල සහ “පොත් මුල්ල” (Reading Corners)

    බොහෝ ප්‍රාථමික පාසල්වල හොඳ පුස්තකාල සහ පන්ති කාමර තුළ කියවීම සදහා ඉඩක් වෙන් කර ඇත. වයසට ගැලපෙන කතා පොත්, විද්‍යා පොත්, කොමික් පොත් සහ වර්ණවත් පොත් පත් සමග පහසු ලෙස ඉද ගැනීමට සහ දරුවන් ආකර්ශණය වන ආකාරයට මෙතැන සරසා ඇත.  

    4. ගෙදර වැඩ ලෙස පොත් කියවීමට ලබා දීම

    ප්‍රාථමික පන්ති වලදී සතියකට පොත් කිහිපයක් දරුවන්ට පොත් ගෙදර ගෙන යාම අනිවාර්ය කර ඇත. මෙමගින් තම නිවසේදී දෙමාපියන් සමඟ කියවීමට උනන්දු කරයි.
බොහොමයක් පාසල් වල කියවීම ලකුණු කරන දිනපොත් ඇති අතර කියවීම තහවුරු කිරීමට දෙමාපියන්ගේ අත්සන එහි ලකුණු කල යුතුය.

    5. කතන්දර කියවීම සහ පොත් සතිය

    ඔස්ට්‍රේලියාවේ පාසල්වල “පොත් සතිය” (Book Week) වැනි උත්සව ඉතා ජනප්‍රියය. මෙහිදී ළමයින්:
    • තමන් කැමති පොතක කැමතිම චරිතය ලෙස ඇඳගෙන ඒම (costume parade)
    • කතෘ වරුන් පාසලට පැමිණීම (author visits)
    • කතන්දර කීමේ ක්‍රියාකාරකම් (storytelling activities) වලට සහභාගී වේ. මේ හරහා කුඩා වයසේ සිටම කියවීම විනෝදජනක ක්‍රියාවක් බවට පත් කරයි.

    6. කියවීම අපහසු දරුවන් සදහා සහය ලබා දීම (Individual Reading Support)

    කියවීම අඩු දරුවන් සඳහා:
    • කුඩා කණ්ඩායම් (small group teaching)
    • කියවීම උගන්වන ගුරුවරුන් (reading intervention teachers)
    • තනිවම දරුවා සමග වැඩ කිරීම (one-to-one support) 
ලබා දේ.


    7. ඩිජිටල් කියවීමේ මෙවලම් (Digital Reading Tools)

    ප්‍රාථමික පාසල් අවධියේදීම දරුවන්ට Tablet, apps, e-books, සහ online literacy platforms භාවිතා කරීමට හුරු කරයි
උදාහරණ ලෙස:
    • Raz-Kids
    • Reading Eggs
    • Sunshine Online
    වැනි වෙබ් අඩවි හදුන්වා දී smart මෙවලම් භාවිතය හරහාද කියවීම ප්‍රවර්ධණය කරයි.


    8. දෙමාපියන්ගේ සහභාගීත්වය


    දරුවන්ගේ ප්‍රාතමික පාසල් අවධයේදී උදෑසන දෙමාපියන් කාළසටහනකට අනුව පාසලට පැමිණීම අනිවාර්යය වේ. දිනකට දෙමාපියන් දෙදෙනෙකුවත් පාසලට පැමිණ පැයක් පමණ දරුවන් එකිනෙකාගෙන් ඔවුනට අදාළ පොත් කියවීමේ දියුණුව ලකුණු කරයි. ඊට අමතරව දෙමාපියන් කුඩා කල සිටම දරුවන්ට;
    • නිදා ගැනීමට පෙර පොතක් කියවීම (bedtime stories)
    • පුස්ථකාලයට දරුවන් ගෙන යාම
    • දරුවන් ගේ “screen time” අඩු කිරීම
    • කියැවීමේ පුරුද්ද ඇති කිරීම සහ වර්ධනය කිරීම
ප්‍රවර්ධනය කිරීමට වැඩ කටයුතු කරයි.  


    9. කැමති පොත් ලබා දීම


    ළමයින්ට තමන් කැමති විෂයයන් පිළිබඳ පොත් තෝරා ගැනීමට ඉඩ දෙයි. එවිට කියවීම පිළිබඳ උනන්දුව වැඩිවේ.

    10. කියවීම ජාතික විශය මාලාවට (National Curriculum) සහ ඇගයීමේ පටිපාටියට (Assessment) ඇතුලත් කර තිබීම

    ඔස්ට්‍රේලියාවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති හරහා කියවීමට විශේෂ තැනක් දෙයි. එමඟින් සාක්ෂරතා ප්‍රමිතිය (literacy standards) සකස් කරයි. ඒ අනුව ජාතික මට්ටමෙන් NAPLAN වැනි පරීක්ෂණ මඟින් කියවීමේ දක්ෂතා මැනේ. ඊට අමතරව ප්‍රාන්ත මට්ටමින් පවත්වන “Premier’s Reading Challenge” වැනි කියවීමේ තරඟ වලට පාසල් සහභාගිවීම හරහා කියවීම ප්‍රවර්ධනය කරයි.

    මෙලෙස ඔස්ට්‍රේලියෙවේ පාසල්වල සතියකට කියවීම සඳහා වෙන් කළ කාලසටහන් පවතින අතර, දරුවන්ට තමන් කැමති පොත් තෝරාගෙන කියවීමට නිදහස ලබාදේ. එමෙන්ම ඔවුන් කියවීම සතුටක් බවට පත් කිරීමට විවිධ ක්‍රියාකාරකම්ද සංවිධානය කරයි. මෙවැනි ක්‍රියාකාරකම් මගින් දරුවන් තුළ කියවීම පිළිබඳ ආදරයක් සහ කුතුහලයක් වර්ධනය වේ.

    ඒ වාගේම දෙමාපියන්ගේ සහභාගීත්වයද විශේෂයෙන් කැපී පෙනේ. කුඩා වියේ සිටම දරුවන්ට නින්දට යාමට පෙර පොතක් කියවා දීම, එකට පුස්තකාලයට යාම සහ ගෙදරදී කියවීමේ පුරුද්දක් ඇති කිරීම සාමාන්‍ය දෙයකි. මෙය දරුවන්ට පොත් සමඟ හිතවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට සහ දෙමාපියන් සමග යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගීමටද උපකාරී වේ.

    කියවීමේ වැදගත්කම සලකා බැලූ විට, එය දැනුම ලබාගැනීම පමණක් නොවන බව පැහැදිලිය. පොත් කියවීම මගින් භාෂා හැකියාව වර්ධනය වන අතර, නිර්මාණශීලී සිතුවිලි, විවේචනාත්මක චින්තනය සහ ගැටලු විසඳීමේ හැකියාවද දියුණු වේ. කතාපොත් කියවන දරුවන් තුළ අන් අයගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව සහ මානව සංවේදනාවද වැඩි වන බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

    එබැවින් ලංකාව තුළද කියවීමේ සංස්කෘතිය නැවත ගොඩනැගීමේ අවශ්‍යතාව දැඩිව පවතී. ලංකාව පහුගිය 76 වසර පුරා නිදහස් අධ්‍යාපනය තුලින් සමහර දියුණු රටවල් වලටත් වඩා සාක්ෂරතාවයෙන් පොහොසත් රටකි. එම නිසා ලංකාවේ දරුවන්ට කියවීමේ හැකියාව ඇත. නැත්තේ කියවීමේ පුරුද්ද පමණි. මේ, ලංකාවේ පාසල්වල කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමට නව වැඩසටහන් අත්‍යවශ්‍ය යුගයකි.

    වර්තමාන සමාජයේ දරුවන් අතර පොත් කියවීමේ පුරුද්ද ක්‍රමයෙන් අඩු වීමට ප්‍රධාණ හේතුවක් වන්නේ ජංගම දුරකථන, සමාජ මාධ්‍ය සහ රූපවාහිනී භාවිතය ඉහළ යාමයි. එබැවින් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ කියවීම ප්‍රවර්ධනය කිරීම සඳහා නව සහ ක්‍රියාකාරී වැඩසටහන් හඳුන්වාදීම කාලෝචිත අවශ්‍යතාවයක් බව මාගේ අදහසයි.

    බොහෝ අධ්‍යාපනඥයන්ගේ යෝජනාව වන්නේ සෑම පාසලකම දිනපතා මිනිත්තු 10 සිට 15 දක්වා “නිහඬ කියවීමේ කාලයක්” වෙන් කළ යුතු බවයි. එමඟින් දරුවන්ට තමන් කැමති පොත් නිදහසේ කියවීමට අවස්ථාව ලැබෙන අතර, කියවීම පිළිබඳ උනන්දුව වර්ධනය වන බව ඔවුන් පෙන්වා දෙති.

    එසේම පන්තිකාමර තුළ කුඩා “Reading Corner” පිහිටුවීමද ප්‍රයෝජනවත් ක්‍රමයක් ලෙස සැලකේ. කතා පොත්, චිත්‍ර පොත්, ළමා පුවත්පත් සහ විද්‍යාත්මක ලිපි ඇතුළත් කිරීමෙන් දරුවන් විවේක වේලාවලදී කියවීමට පෙළඹෙයි.

    ලංකාවේද පාසල් මට්ටමින් “පොත් සතිය” හෝ “පොත් මාසය” වැනි වැඩසටහන් සංවිධානය කිරීමද කියවීම ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. එවැනි වැඩසටහන් යටතේ පොත් ප්‍රදර්ශන, කතා රචනා තරඟ, කතා කියවීමේ වැඩසටහන් සහ ලේඛකයන් හමුවීම් පැවැත්විය හැකිය.

    විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් සඳහා ජංගම පුස්තකාල හෝ වීදි පොත් ගුල් සේවාවන් ආරම්භ කිරීමේ හැකියාවක් ඇත. පොත් ලබාගැනීමේ පහසුකම් සීමිත ප්‍රදේශවල දරුවන්ට එය මහත් උපකාරයක් වනු ඇති බව විද්වතුන්ගේ අදහසයි.

    දෙමාපියන්ගේ සහභාගීත්වයද කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකේ. දරුවන්ට ගෙදරදී කතා කියවීම, දිනපතා පොතක් කියවීමට දිරිගැන්වීම සහ ජංගම දුරකථන භාවිතය සීමා කිරීම මඟින් හොඳ කියවීමේ සංස්කෘතියක් ගොඩනැගිය හැකි බව පෙන්වා දෙයි.

    මේ බොහොමයක් දේ කිරීමට කිසිදු ප්‍රාග් ධණයක් වැය වන්නේ නැත. අවශ්‍ය වන්නේ නව්‍ය චින්තනය මගින් ආකල්ප වෙනස් කර ගැනීම පමණි. දෙමාපියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන් ගේ කැප කිරීම පමණි.

    පොතක් කියවීම යනු කාලය ගත කිරීමක් පමණක් නොව, මනුෂ්‍යයාගේ සිතුවිලි ලෝකය පුළුල් කරන අගනා ක්‍රියාවකි. තාක්ෂණය කොතරම් දියුණු වුවද, කියවීමෙන් ලැබෙන ගැඹුරු දැනුම හා මනෝවිශ්ලේෂණාත්මක හැකියාව වෙනත් කිසිදු මාධ්‍යයකින් සම්පූර්ණයෙන් ලබාගත නොහැක. එබැවින් නව පරපුර තුළ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීම සෑම සමාජයකම අනාගතයට කරන වැදගත් ආයෝජනයකි.

    යහපත් සාර්ථක පුද්ගලයෙකු සමාජයට බිහිවන්නේ දරුවන්ට “කට කියවීම” ප්‍රගුණ කරවීමෙන් නොව “පොත් කියවීම” ප්‍රගුණ කරවීමෙන් බව බව වගකිවයුත්තන් මතක තබා ගත යුතුය.

    සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)

    ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
    මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය

    [email protected]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here