ශාසනය පිරිසිදු කිරීමට ධර්ම සංගායනාවක් පවත්වන්න – හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

0
8

බුද්ධ ශාසනය මේ වන විට මුහුණ දී ඇති බරපතළ විනය පිරිහීම් සහ අර්බුද හමුවේ වහාම ශාසන ශෝධන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි. මහානායක හිමිවරුන් වෙත ලිපියක් යොමු කරමින් ඇය පෙන්වා දෙන්නේ, හුදකලා සිදුවීම් පස්සේ යෑම වෙනුවට ධර්ම සංගායනාවක් හරහා පද්ධතිමය වෙනසක් සිදු කළ යුතු බවයි. අතීතයේදී ද මෙවැනි උත්සාහයන් වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් වළක්වා ඇති බව සිහිපත් කරන ඇය, මහානායක හිමිවරුන්ගේ නායකත්වය යටතේ සිදු කෙරෙන එවැනි කාර්යයකට අවශ්‍ය උපරිම පහසුකම් සැලසීමට තමන් ඇතුළු ගිහි බෞද්ධ නායකයන් සූදානම් බව ද අවධාරණය කළාය.

ශාසන ශෝධන වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කිරීම.

බුදු දහමේ චිරස්ථිතිය සහ යහපැවැත්ම රඳා පවතින්නේ ධර්ම-විනය දෙක මත බව අපි දනිමු. ඒ නිසාම ශාසන ඉතිහාසය පුරා ශාසනයේ අර්බුද පැන නැගුණු අවස්ථාවල, කලින් කල ශාසන ශෝධන ක්‍රියාවලීන් හරහා බුදු දහමේ සුරක්ෂිතතාව තහවුරු කරගෙන මෙතෙක් කලක් රැකගෙන ආවේ ය.

පළමු ධර්ම සංගායනාවේ සිට මහනුවර යුගයේ වැලිවිට අසරණ සරණ සරනංකර සංඝරාජ නාහිමියන් දක්වා වූ යුගය තුළ සිදු කළ ශාසන ශෝධන වැඩපිළිවෙළවල් නිසා බුදු දහමේ චිරස්ථිතිය තහවුරු වූ බව පැහැදිලිය.

යටත් විජිත යුගයෙන් පසු, 1956 බණ්ඩාරනායක පාලන කාලයේ, බුදු දහමේ යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූව ද, එතුමා ඝාතනයෙන් පසු එම වැඩපිළිවෙල ද සාර්ථක කරගැනීමට හැකි වූයේ නැත.

මාගේ පාලන කාලයේ ද, අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ මැදිහත්වීමෙන් මාගේ රජයේ පූර්ණ අනුග්‍රහාය යටතේ ධර්ම සංගායනාවක් පැවැත්වීමට සැලසුම් කළ ද, ඇතැම් භික්ෂුන් පිරිසකගේ විරෝධය නිසා එම උත්සාහය ද අත්හැර දැමීමට සිදු විය.

නිදහසින් පසු, මා ඉහත සඳහන් කළ අවස්ථා දෙකෙහිදීම සිදු වූයේ බුදු සසුනේ ඇතිවී තිබෙන අර්බුදයන් හරහා වරප්‍රසාද බුක්ති විඳින ඇතැම් පාර්ශවයන් එම අර්බුද විසඳීම වැළැක්වීමට උපක්‍රමශීලීව කටයුතු කළ බව කණගාටුවෙන් ප්‍රකාශ කිරීමට සිදුවේ.

ඉකුත් කාලවකවානුවලටත් වඩා අද බරපතල අභියෝග රාශියකට බුදු සසුන මුහුණ දී තිබේ.

අප මේ මොහොතේ හෝ බුදු සසුන සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුද පිළිබඳ පුළුල් අභ්‍යන්තර සංවාදයක් ආරම්භ කර, සැබෑ අර්බුදයට මුල් වන හේතුන් සහ ඊට කෙටිකාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් නිශ්චිත විසඳුම් ලබා දීම අත්‍යවශ්‍ය වේ. එසේ නොකර කලින් කල ජනගතවන හුදකලා සිද්ධි වලට විසඳුම් සොයා යාම හෝ ඒවා ජනගතවීම වැළැක්වීම විසඳුමක් සේ සැලකීම බුද්ධිගෝචර නොවේ. ඉන් සිදුවන්නේ සැබෑ අර්බුදය යටපත් වීම පමණි.

මේ මොහොතේ බුදු සසුන සම්බන්ධයෙන් පැන නැගී ඇති භයානක අර්බුදය වෙනුවෙන් සාධනීය ව මැදිහත්වීම අප සැමගේ ශුද්ධවු යුග කාර්යභාරයක් බව අවධාරණය කරන අතර, ඒ වෙනුවෙන් ධර්ම සංගායනාවක් හරහා බුදු සසුනේ චිරස්ථිතිය සහතික කිරීමට ඔබවහන්සේලාගේ නායකත්වය සහ මූලිකත්වය ලබා දෙන ලෙස නමස්කාරපූර්වකව ඉල්ලා සිටිමි.

ඒ සඳහා අවශ්‍ය සංවිධායනය සහ පහසුකම් සැපයීමට ජ්‍යෙෂ්ඨ ගිහි බෞද්ධ නායකයන් කණ්ඩායමක් සමග එක්ව කටයුතු කිරීමට මා සූදානම් බව ද සඳහන් කරනු කැමැත්තෙමි

ඔබවහන්සේට බුදු සරණයි,

මෙයට,

සසුන් ලැදි,

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here