මවකගේ ආදරය සහ කැපකිරීම මැනිය හැකි කිසිදු මිම්මක් මේ ලෝකයේ නැහැ. තමන්ගේ මුළු තරුණ කාලයම දරුවෙකුගේ හීන වෙනුවෙන් දියකර හැරිය අපූරු මවකගේ සහ පුතෙකුගේ අතිශය සංවේදී වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය සිසාරා බොහෝ දෙනෙකුගේ දෑස් කඳුළින් තෙත් කරමින් තිබෙනවා.
ඈ වසර 30කට අධික කාලයක් මව්බිමෙන් ඈත්ව, විදේශ රටක ගෘහ සේවිකාවක ලෙස අනේකවිධ දුක් ගැහැට වින්දාය. අනුන්ගේ නිවෙස් පිරිසිදු කරමින්, බිම අතුගාමින් ඈ විඳි සෑම වේදනාවකටම පිටුපසින් තිබුණේ එකම එක බලාපොරොත්තුවක් පමණයි. ඒ, තමන්ගේ පණ වැනි පුතුට ඉහළම අධ්‍යාපනයක් ලබා දීමයි. තනිකම, විඩාව හෝ ගත රැඳි රෝගාබාධ කිසිවකට ඇගේ ඒ දැඩි අධිෂ්ඨානය පරාජය කරන්නට හැකි වූයේ නැහැ.
අම්මා කෙනෙකුගේ මහපොළොවට වැගිරුණු දහඩිය සහ කඳුළු කිසිදා අපතේ යන්නේ නැති බව සනාථ කරමින් ඇගේ පුත්‍රයා අද වන විට දක්ෂ ගුවන් නියමුවෙකු (Pilot) බවට පත්ව සිටිනවා.
සමාජ මාධ්‍ය කැළඹූ එම දසුන පෙළ ගැසෙන්නේ මෙසේයි; තමන්ගේ නිල ඇඳුමින් සැරසුණු මේ ආදරණීය පුත්‍රයා, මව ගමන් ගන්නා ගුවන් යානය තුළදීම ඇයව පුදුමයට පත් කරමින් මල් කළඹක් රැගෙන ඇය ඉදිරියට පැමිණෙනවා. ඉන්පසු ඇයව දැඩි සෙනෙහසින් වැළඳගන්නා ඒ මොහොත, වසර 30ක් තිස්සේ ඇය විඳි සියලු කායික, මානසික වෙහෙස නිවාලන්නට ඇති බව නිසැකයි.
ඇගේ රැකියාව තිබුණේ මහපොළොවේ වුවත්, ඇගේ අසීමිත කැපකිරීම අද ඇගේ පුතුට වලාකුළු අතර නිදහසේ පියාසර කරන්නට පියාපත් සාදා දී ඇත. මේ, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජීවිතයම පූජා කරන ලෝකයේ සියලුම අම්මාවරුන්ට උතුම්ම උපහාරයකි
උපුටා ගැනීම ටෙලි ලන්තය face book පිටුවෙන්




