අමෙරිකාවේ නිව් ජර්සි හිදී ජූලි 19 වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගයේ විවේක කාලයේ සංගීත ප්‍රසංගයට
තමා සමග සහභාගි වන ලෙසට කොලොම්බියානු පොප් ගායිකා ෂකිරා ‘ගෙටෝ කිඩ්ස්’ (මුඩුක්කුවේ ළමයින්) – Ghetto Kids – නමැති උගන්ඩාවේ ජනප්‍රිය සංගීත රැඟුම් කණ්ඩායමට ආරාධනය කර තිබෙනවා.
මේ ‘ගෙටෝ කිඩ්ස්’ රැඟුම් හා සංගීත කණ්ඩායම සැදී තිබෙන්නේ උගන්ඩාවේ කැම්පාලා අගනුවර කට්වේ ප්‍රදේශයේ මුඩුක්කු මට්ටමෙන් ජීවත්වන දරුවන්ගෙන්. මේ කණ්ඩායම 2014 වසරේදී නිර්මාණය කර තිබෙන්නේ නර්තන ගුරුවරයෙකු වන Dauda Kavuma විසින්. 37 හැවිරිදි මේ නැටුම් ගුරුවරයා වසර දහයකට වැඩි කාලයක් තිස්සේ දරුවන් 30 දෙනෙකුට රැඟුම් උගන්වමින් ඔවුන් සමග ම ඔහුගේ කැම්පාලා නිවසේ ජීවත් වෙමින් සිටිනවා.
‘ගෙටෝ කිඩ්ස්’ ප්‍රථම වතාවට ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේ උගන්ඩා ගායක එඩී කෙන්සෝගේ Sitya Loss නමැති ජනප්‍රිය ගීතය වෙනුවෙන් ඔවුන් ගමේදී නිර්මාණය කළ රැඟුම් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ වේගයෙන් පැතිර යාමෙන් පසුව. එතැන් සිට, මේ කණ්ඩායම French Montana නමින් ප්‍රචලිත මොරොක්කෝ හා අමෙරිකානු රැප් ගායකයාගේ Unforgettable සංගීත වීඩියෝවෙන් හා 2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සම්බන්ධ රංගනයන් ඇතුළු ආකර්ෂණීය සංගීත රැඟුම්වලින් ප්‍රධාන ජාත්‍යන්තර වේදිකාවන්ට පිවිස තිබෙනවා.
2023 වසරේදී මේ කණ්ඩායම එංගලන්තයේ Britain’s Got Talent විවිධ ප්‍රසංග වේදිකාවෙන් කෙලින් ම සජීවී අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ඔවුන් ඉදිරිපත් කළ රංගනයට Golden Buzzer නමැති වටිනා විනිසුරු තීරණය දිනා ගනිමින්.

(සටහන : වර්නන් ගුණසේකර)
‘ද ලීඩර්’ ක්‍රීඩා වාර්තාකරු
[email protected]



