ලෝක කුසලාන පාපන්දු නිල ගීත ගායනයෙන් හා අලංකාර රංගනයෙන් ලොව පුරා පාපන්දු ක්‍රීඩා ලෝලීන් වසඟ කරගෙන සිටින ජනප්‍රිය ගායිකා ෂකිරාගෙන් අයකර ගත් යුරෝ මිලියන 55ක (ඩොලර් මිලියන 64) මුදල ඇයට ආපසු ගෙවන ලෙසට ස්පාඤ්ඤ උසාවියක් නියෝග කර තිබෙනවා.
ඇයගේ බදු ගෙවීමේ ප්‍රශ්නයක් මත මේ මුදල අය කරගෙන තිබෙන්නේ අවිධිමත් ලෙසින් බවට අධිකරණය තීන්දු කර තිබෙනවා.
මේ රූමත් කොලොම්බියානු ගායිකාව බදු වංචා චෝදනාවෙන් නිදහස් කළ ස්පාඤ්ඤයේ ජාතික මහාධිකරණය, සම්පූර්ණ මුදල පොලිය ද සහිතව ඇයට ආපසු ගෙවන ලෙසට භාණ්ඩාගාරයට නියෝග කර තිබෙනවා.
ෂකිරා 2011 වසරේදී ස්පාඤ්ඤයේ දින 183ක් ගත කළ බව ඔප්පු කිරීමට බදු බලධාරීන් අසමත්ව ඇතැයි උසාවිය ප්‍රකාශ කර තිබෙනවා. එය, එරටදී පදිංචිකරුවන්ට පෞද්ගලික ආදායම් බදු ගෙවීමට අවශ්‍ය වන අවම දින සංඛ්‍යාව වනවා.

“මගේ සෞඛ්‍යයට හා මගේ පවුලේ යහ පැවැත්මට මෙමගින් ඇති කළ දැඩි බලපෑම නිසා මට ගත කරන්නට සිදුවූ නිදි නැති රාත්‍රීන්වලින් පසුව හා මගේ කීර්තිය විනාශ කිරීම ඉලක්ක කරගත් මහජන උද්ඝෝෂණ ඉවසා දරා සිටීමෙන් පසුව අවසානයේදී අධිකරණය මේ ප්‍රශ්නයට නිවැරදි තීන්දුවක් දී තිබෙනවා” යනුවෙන් ෂකිරා පවසනවා.
ෂකිරා ට ආපසු ගෙවීමට නියමිත මුදලට යුරෝ මිලියන 24ක පමණ ආදායම් බදු හා යුරෝ මිලියන 25කට ආසන්න දඩ මුදල් ඇතුළත්ව තිබෙන අතර බලධාරීන් විසින් මෙය විස්තර කර තිබුනේ ඉතා බරපතල නීති කඩකිරීමක් ලෙසයි.
නඩු තීන්දුවට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන බවත් අවසාන තීන්දුව ලැබෙන තෙක් කිසිම මුදල් ගෙවීමක් සිදු නොකරණ බවත් බදු ඒජන්සිය කියනවා.

දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘වකා වකා’ නිල ගීතයේ සංගීත වීඩියෝව 2010 වසරේදී රූ ගත කරමින් සිටින අතරතුර හිටපු ස්පාඤ්ඤ හා බාසිලෝනා පාපන්දු ක්‍රීඩක Gerard Pique මුණගැසීමෙන් පසුව ඔහු සමග මේ 49 හැවිරිදි පොප් ගායිකාව දශකයකට වැඩි කාලයක් ජීවත් වුණා.
ෂකිරාගේ පොදු ආදායමට සම්බන්ධ 2011වසර ඇයගේ බදු ගෙවීමේ පදිංචිය යන උපකල්පනය කෙරෙහි විශ්වාසය රඳවමින් කටයුතු කර තිබීම නිසා දඩ ගැසීම නීත්‍යනුකූල නොවන බව උසාවිය කියා තිබෙන්නේ එම කාරණාව ඔප්පු කර නැති බව සඳහන් කරමින්.
එම මුදල් වර්ෂයේදී මේ ගායිකාව ස්පාඤ්ඤයේ ගත කර තිබෙන්නේ දින 163ක් බව උසාවිය පෙන්වා දී තිබෙනවා. මෙය, බදු ගෙවීමේ අවශ්‍යතාවන් සඳහා පදිංචිකරුවෙකු ලෙසින් ඇයව වර්ග කරන ප්‍රවේශ ලක්ෂ්‍යයට දින 20ක අඩු වීමක්. 2011න් පසු බදු වර්ෂ සඳහා මේ නඩුවේ සම්බන්ධයක් නැහැ.
මෙය ෂකිරා සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ බදු ඒජන්සිය විසින් ගෙන එනු ලැබූ නඩු ගණනාවකින් එකක් වනවා.
2012-2014 වර්ෂ ආවරණය වන වෙනම බදු වංචා නඩුවක් විභාග වීමට පෙර ෂකිරා 2023 වසරේදී ස්පාඤ්ඤ පැමිණිලි පක්ෂය සමග ගිවිසුමකට එළඹුණා.
තමා වැරදි දෙයක් කිරීම ප්‍රතික්ෂේප කරමින් පිවිසි එම ගිවිසුමට අනුව ඇය චෝදනා හයක් පිළිගෙන යුරෝ මිලියන 7.5ක දඩයක් ගෙවා දැමුවා.

එහිදී පැමිණිලි පක්ෂයට උවමනා වී තිබුනේ ෂකිරා වැරදිකාරිය කර ඇයව වසර අටකට සිරගෙට යවා ඇයට යුරෝ මිලියන 23.8ක මුදලක් දඩ ගැසීමටයි. එම නඩුව සමථයකට පත් කළේ ඇයගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව කල්පනා කිරීමෙන් පසුව බව ෂකිරා කියා සිටියා.
2024 වසරේදී ස්පාඤ්ඤ අධිකරණයක් 2018 වර්ෂය සඳහා ඇයගේ බදු ගෙවීම පිළිබඳව කළ පරීක්ෂණයක් සාක්ෂිවල අඩුවක් හේතුවෙන් අත්හැර දැමුවා.

ෂකිරාගේ ආසන්නතම නඩු තීන්දුව වාර්තා වන්නේ ඇය ‘කාන්තාවන් තවත් අඬන්නේ නැහැ’ – Women Don’t Cry Anymore – යනුවෙන් නම් කළ ඇගේ ලෝක සංගීත ප්‍රසංග සවාරිය සැප්තැම්බර් මාසයේ සිට මැඩ්රිඩ් අගනුවර ගත කළ ඇගේ පදිංචියත් සමග නිමා කරමින් සිටින අවස්ථාවක.
ලබන ජූලි මාසයේ පැවැත්වෙන ලේක කුසලාන පාපන්දු අවසාන මහා තරගයේ විවේක කාලයේ සංගීත ප්‍රසංගයේදී ද මේ ආදරණීය ගායිකාව මැඩෝනා සහ BTS (Bangtan Boys) නමැති දකුණු කොරියානු සංගීත කණ්ඩායම සමග රංගනයේ යෙදීමට නියමිතයි.
බ්‍රසීලයේ රියෝ ඩි ජනේරෝ නගරයේ කෝපාකබෑනා වැල්ලේදී මේ මස මුල නොමිලේ පැවැත්වුනු ෂකිරාගේ සංගීත ප්‍රසංගය නැරඹීමට මිලියන දෙකක ජනතාවක් පැමිණ තිබුණා.

(සටහන : වර්නන් ගුණසේකර)
‘ද ලීඩර්’ ක්‍රීඩා වාර්තාකරු
[email protected]




