ක්‍රීඩිකාවන් හොරෙන් රූ ගත කළ පාපන්දු පුහුණුකරුට ජීවිතාන්තය දක්වා තහනමක්

0
17

ඇඳුම් මාරුකරන කාමර සහ නාන කාමරවල සිටි ක්‍රීඩිකාවන් හොරෙන් රූ ගත කළ හිටපු ප්‍රධාන පාපන්දු පුහුණුකරුවෙකු වන පෙට ව්ලාකාස්කී (Petr Vlachovsky) ට යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලය වන UEFA විසින් ජීවිතාන්තය දක්වා තහනමක් පනවා තිබෙනවා.

චෙක් සමූහාණ්ඩුවේ කාන්තා පාපන්දු පුහුණුකරුවෙකුව සිටි ඔහුට වසරකට අත්හිටවූ සිරදඬුවමක් හා චෙකොස්ලොවේකියාව තුළ පාපන්දු පුහුණු කිරීම වළක්වන පස් වසරක තහනමක් පසුගිය වසරේදී පනවනු ලැබුවේ අවුරුදු හතරක් තිස්සේ ක්‍රීඩිකාවන් 14 දෙනෙකුව හොරෙන් රූ ගත කිරීමට වැරදිකරු කිරීමෙන් පසුව.

අපහාස කිරීම හෝ අශිෂ්ට හැසිරීම සම්බන්ධයෙන් ඇති නියාමනයන් උල්ලංඝනය කරමින් ව්ලාකාස්කී පාපන්දු ක්‍රීඩාව අපකීර්තියට පත්කර තිබෙන බවට UEFA හි පාලනය, සදාචාර ප්‍රතිපත්ති හා විනය මණ්ඩලය (CEDB) ඔවුන් කළ පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් මේ පුහුණුකරුවාට ජීවිතාන්තය දක්වා පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ කිසිම ක්‍රියාවක නියැලීම තහනම් කර තිබෙනවා.

චෙකොස්ලොවේකියානු පාපන්දුවේ ඉහළම ස්තරයේ ක්‍රීඩා කරන 1. FC Slovacko පාපන්දු ක්‍රීඩා සමාජයේ බාලිකාවන් හා කාන්තාවන්ව වසර 15කට ආසන්න කාලයක් තිස්සේ පුහුණු කළ ව්ලාකාස්කී හොරෙන් රූ ගත කළ පටය online තිබියදී පොලිසිය විසින් සොයා ගැනීමෙන් පසුව 2023 වසරේ සැප්තැම්බරයේදී ඔහු අත්අඩංගුවට ගැනුණා.

42 හැවිරිදි මේ පුහුණුකරු ළඟ තිබී ළමා ලිංගික අපයෝජන ඡායාරූප යනාදිය ද සොයාගෙන තිබුණා.

පාපන්දුවේ කිසිම ක්‍රියාවකට සහභාගි වී‌මේ ලෝක ව්‍යාප්ත තහනමක් ව්ලාකාස්කී ට පනවන ලෙසට CEDBය පාපන්දු ක්‍රීඩාවේ ගෝලීය පාලක මණ්ඩලය වන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලා තිබුණා.

ව්ලාකාස්කීගේ පුහුණුකරු බලපත්‍රය අවලංගු කරන ලෙසට ද ඔවුන් චෙකොස්ලොවේකියානු පාපන්දු සංගමයට නියෝග කර තිබෙනවා.

තමන්ව හොරෙන් රූ ගත කළ බවට 1. FC Slovacko ක්‍රීඩිකාවන් දැනගෙන තිබෙන්නේ ඔවුන්ගේ පුහුණුකරුවා අත්අඩංගුවට ගැනීමෙන් පසුව පමණක් බවට ප්‍රධාන පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමය වන FIFPro ප්‍රකාශ කර තිබෙනවා.

චෙක් සමූහාණ්ඩු වයස අවුරුදු 19න් පහළ බාලිකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කලක් කටයුතු කළ පෙට ව්ලාකාස්කී වරක් එරට හොඳම කාන්තා පුහුණුකරු වශයෙන් ද නම් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here