අභියෝග බාධක මැදින්, සුපිරි තරුවක් ලෙස කිරුළු පැළඳූ සුරූපිනිය “මුම්ටාස්”.

0
8

“Stunt Film Heroine” (ක්‍රියාදාම චිත්‍රපට නිළිය) කියන ලේබලයෙන් මිදිලා, තමන්ගේම උත්සාහයෙන් බොලිවුඩ් සිනමාවේ ඉහළම කිරුළ පැළඳූ, සැබෑ ජීවිතයේදීත් මාරාන්තික රෝගයක් පරාජය කළ අභීත කාන්තාවක් ගැනයි අද ලිපිය. ඇය නමින් මුම්ටාස්. භාරත සිනමාවේ සුන්දරතම නිළියන් අතර, ඇගේ නම ඉහළින්ම ලියැවෙනවා. මේ මුම්ටාස්ගේ කතාවයි.

1947 ජූලි 31 වැනිදා මුම්බායි හි ඉරාන සම්භවයක් ඇති පවුලක උපන් මුම්ටාස්, වයස අවුරුදු 11 දී ‘Sone Ki Chidiya’ හරහා ළමා නිළියක් ලෙස සිනමාවට පිවිසියා. 1960 දශකයේ මුල් භාගයේදී ඇයට ලැබුණේ අතිරේක චරිත සහ B-ශ්‍රේණියේ ක්‍රියාදාම චිත්‍රපට (Stunt films) පමණයි. විශේෂයෙන්ම මල්ලවපොර ශූර දාරා සිං සමඟ ‘Faulad’, ‘Daku Mangal Singh’ වැනි චිත්‍රපට රැසක රඟපෑම නිසා ඇයට “Stunt Film Heroine” කියන ලේබලය වැදුණා. මේ නිසා ප්‍රධාන පෙළේ නළුවන් ඇය සමඟ රඟපාන්න මැලි වුණා.

ඇගේ ජීවිතය වෙනස් වුණේ 1967 දී දිලිප් කුමාර් සමඟ රඟපෑ ‘Ram Aur Shyam’ චිත්‍රපටයෙනි. ඉන්පසුව 1969 දී රාජේෂ් ඛන්නා සමඟ රඟපෑ ‘Do Raaste’ චිත්‍රපටය ඇගේ සිනමා ගමනේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යය වුණා.

1970 දී තිරගත වූ ‘Khilona’ (ඛිලෝනා) හි සංවේදී චරිතය වෙනුවෙන් ඇය හොඳම නිළියට හිමි Filmfare සම්මානය දිනාගනිමින් මුළු බොලිවුඩයම මවිත කළා. ඇය සහ රාජේෂ් ඛන්නා අතර වූ රසායනය කෙතරම් ප්‍රබලද කියනවා නම්, ‘Sachaa Jhutha’, ‘Roti’, සහ ‘Aap Ki Kasam’ වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට 10ක ඔවුන් එකට රඟපෑවා. 60 සහ 70 දශකවල බොලිවුඩයේ වැඩියෙන්ම අය කළ සහ ජනප්‍රියතම නිළිය වූයේ ඇයයි.

බොලිවුඩයේ සුපිරි නළු ෂම්මි කපූර් මුම්ටාස් සමඟ විවාහ ගිවිසගෙන සිටියත්, විවාහයෙන් පසු සිනමාවෙන් සමුගන්නා ලෙස කපූර් පවුලෙන් කළ ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා එම සබඳතාව බිඳවැටුණා. ඉන්පසුව 1974 දී ඇය උගන්ඩා-ඉන්දීය සම්භවයක් ඇති කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මයුර් මද්වානි සමඟ විවාහ වී, පවුල් ජීවිතය වෙනුවෙන් සිනමාවෙන් සමුගත්තා. අදටත් ඔවුන් ඉතා ආදරණීය විවාහ ජීවිතයක් ගත කරන අතර, ඔවුන්ට නතාෂා සහ ටානියා නමින් දියණියන් දෙදෙනෙක් සිටිනවා.

සිනමාවේ පමණක් නොව, ඇය සැබෑ ජීවිතයේත් සටන්කාරියක්. වයස අවුරුදු 54 දී පියයුරු පිළිකාවකට ගොදුරු වූ ඇය, කීමෝතෙරපි ප්‍රතිකාර 6ක් සහ විකිරණ ප්‍රතිකාර 35කට මුහුණ දී, ඒ මාරාන්තික රෝගය සම්පූර්ණයෙන්ම පරාජය කළා!

කෙටියෙන් කියනවා නම්, මුම්ටාස් යනු කිසිවෙකුගේ අවධානයට ලක් නොවුණු “ක්‍රියාදාම චිත්‍රපට නිළියක්” යන ලේබලයෙන් මිදී, තම සහජ දක්ෂතාවයෙන්ම බොලිවුඩයේ අංක එකේ නිළිය ලෙස කිරුළ පැළඳූ අපූරු කාන්තාවක්. වාණිජ සිනමාව ජයගත්තා සේම, සැබෑ ජීවිතයේදී පිළිකාව වැනි මාරාන්තික රෝගයක් පවා පරාජය කළ ඇය, සිනමාවට මෙන්ම සැබෑ ලෝකයේ සියලුම කාන්තාවන්ටත් කිසිදා පරාජය භාර නොගන්නා ලෙස කියාදෙන ජීවමාන ආදර්ශයකි!

ගයාන් හෙට්ටිආරච්චි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here