ඩිජිටල් අධ්‍යාපනයට ඔබින ගුරු පුහුණුවක් ඕනෑ

0
10

මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේදී අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සමගාමීව, ඉගැන්වීම් අන්තර්ගතයන්  සංවර්ධනය කිරීම සහ ගුරුවරුන් නිසි ලෙස පුහුණු කිරීම අත්‍යවශ්‍ය සාධක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

ඩිජිටල් කාර්ය සාධක බලකායේ මෙහෙයවීම මත ​ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයන් සහ මෙරට මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් සමඟ  අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

ස්මාර්ට් පන්තිකාමර වල යූටියුබ්  වීඩියෝ ප්‍රදර්ශනය කිරීමට පමණක් සීමා නොවී, විෂය නිර්දේශයට අදාළ ගුණාත්මක ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

විවිධ පෞද්ගලික වේදිකා ඔස්සේ අන්තර්ගතයන් ඉදිරිපත් කරනවා වෙනුවට, සියලුම අධ්‍යාපනික ද්‍රව්‍ය ‘ඊ-තක්සලාව’ වැනි රජයේ නිල පද්ධතියක් හරහා ප්‍රමිතියකින් යුතුව ලබාදීමේ වැදගත්කම ද ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.

විශේෂයෙන්ම ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 මූලික කරගනිමින් ඩිජිටල් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. වසරකට පුහුණුව ලබන ගුරු සිසුන් 6,000ක් පමණ තාක්ෂණයට හුරු කිරීම හරහා පාසල් පද්ධතියේ  සැබෑ ගුණාත්මක වෙනසක් ඇති කළ හැකි බව ද ඇය සඳහන් කළාය.

lankadeepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here