පඳුරට වදින්න හාවුන්ට විදීම නොහොත් ‘දෙයියෝ සාක්කි’ මිඩියා

    0
    44

    ස්ත්‍රීන්ව ලිංගික වස්තුවක් නොකොට ඇය අයත් දේශපාලනය විවේචනය කිරීමට භාෂාවක් අහිමි වූ පිරිමි ලෝකයක් අපට මුණ ගැසෙමින් ඇත. ඊට ආසන්න උදාහරණ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නිලන්ති කොට්ටහච්චි සහ කෞශල්‍යා ආරියරත්න මුල් කරගනිමින් කරගෙන යන අශීලාචාර මාධ්‍ය ප්‍රචාරණයන්ය. සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ආණ්ඩු විවේචනය ස්ත්‍රීන්ට එරෙහිව කැලෑ පත්තර ගැසීමේ සදාචාර පොලිස් දේශපාලනයක් බවට පිරිහෙළී ඇත.

    මෙම කැලෑ පත්තර ස්වභාවයෙන් යුතු වූ, දැනටමත් විනිශ්චයක් දී ඇති සමාජ මාධ්‍ය කතිකාවෙන් පෙන්නුම් කෙරෙන්නේ විශේෂිත ලිංගික ස්වභාවයකින් සංලක්ෂිත අලුත් ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමක් බිහිව ඇති බවයි. එය ජුඩිත් බට්ලර්ගේ අර්ථයෙන් ලිබරල් හිතකාමී, ඉවසන සුළු, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ලිංගික සමුහයක් නොව, අමු සහ ග්‍රාම්‍ය ලිංගිකත්වය සමරන ප්‍රජාතන්ත්‍රවාදී සමුහයකි.

    මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක් විසින් තම සැමියා තවත් මන්ත්‍රීවරියක් සමග අනියම් සම්බන්ධයක් පවත්වන්නේ යැයිද, ඔවුනගේ ගමන් බිමන් සඳහා ඇයගේ පුද්ගලික වාහනය භාවිත කරන්නේ යැයිද පොලීසියට පැමිණිල්ලක් කොට ඇත. අවාසනාවකට කුප්‍රකට සම්ප්‍රදායක් සිහිපත් කරමින් පොලීසියට යොමු කළ එම පැමිණිල්ල මාධ්‍යයෙහි පළවී තිබුණි. යුද්ධය පැවති සමයේ මෙන් සහ ‘යුක්තිය’ මත්ද්‍රවය වැටලීම් සමයේ මෙන් පොලීසිය මෙවැනි පරීක්ෂණ සිදු කරන්නේද මාධ්‍යයන් ‘සහායට ඩැනි’ කරගෙනය. ඒ අනුව මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය විනිශ්චය මණ්ඩලයක් බවට පත් වෙමින්, ‘වැරදිකරුවන්’ නම් කරමින් ඇත. ඔවුනගේ මේ අනිසි හා වගකීම් විරහිත ක්‍රියාවලින් විසින් සමාජයේ සලකිය යුතු ජන පිරිසක් වින්දිතයන් බවට පත් කෙරෙන අතර එම ප්‍රතිවීපාකයන් ඔවුනගේ පවුල්වලට, රැකියාවට, මානසික සුවපැවත්මට සහ සමස්තයක් ලෙස දේශපාලනයට සිදු කරන හානිය ඉමහත්ය.

    සමාජ මාධ්‍ය විසින් මෙම සිද්ධියේ වින්දිතයකු බවට පත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන කෞශල්‍යා අරියරත්නය. ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ මාලිමාවේ ජයග්‍රහණය ආකාර කීපයකින් වැදගත් වේ. එතෙක් පැවති දූෂිත–ජනතා විරෝධී ප්‍රභූ දේශපාලනයෙන් නිශ්චිත ඛණ්ඩනයක් සලකුණු කිරීම සහ ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණයකදී දකුණේ පක්ෂයක් විසින් ජනතාව පෙළගැස්වීමේ මෙවලමක් ලෙස ප්‍රථම වතාවට ජාතිවාදය නොකැඳවීම ඇතුළු අලුත් දේශපාලන සංස්කෘතියක් පිලිබඳ අපේක්ෂාවන් දැල්වීම නිසාවෙන් මෙම ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය වැදගත් වේ.

    එම ජයග්‍රහණයේ තවත් වැදගත් මානයක් වුයේ පාර්ලිමේන්තුවට පත් වූ සැලකිය යුතු ස්ත්‍රී නියෝජනයයි. බහුතර නිර්ප්‍රභූන්ට පක්ෂපාති දේශපාලනයක අවශ්‍යතාවය සටහන් කරමින් දේශපාලනයේ නිරත වූ ස්ත්‍රීන් ප්‍රමාණයක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට පත්වීය. මෙම ජයග්‍රහණය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමකි. කෞෂල්‍යා ආරියරත්න යනු එම දේශපාලනයේ නියෝජනයකි. එම නියෝජනයේ සුවිශේෂත්වය වන්නේ සම්ප්‍රදායික ප්‍රභූ වළල්ලෙන් එපිට ස්ත්‍රියට දේශපාලනය කළ හැකිවා පමණක් නොව, ඔවුනට පාලන බලය සඳහා මහජන ඡන්දයෙන් පත්වීමටද මෙවර ඉඩක් ලැබී තිබීමයි.

    එහෙත් පරාජිත, සිය විවේචක දේශපාලනයට භාෂාවක් අහිමි වූ හා කැලෑ පත්තර ගැසීම සිය දේශපාලනය කරගත් පිරිමි ඉහත සිදුවීම නින්දිත ලෙස පාවිච්චි කරමින් ඇති බව පෙනේ. ඔවුනගේ එම පරාජිතභාවය, වේදනාව හා ක්‍රෝධය මුදාහැරිම සඳහා එම ප්‍රශ්නයට අදාළ ආණ්ඩුවේ ස්ත්‍රී නියෝජිතවරියන්ව තෝරාගෙන ඇත. එහිදී ස්ත්‍රීන්ගේ පෞද්ගලික ජීවිතත් ලිංගිකත්වයත් මුල් කොටගනිමින් ඉතාම අවලස්සන මඩ ගැසීම් මාලාවක් දියත් කරමින් ඇත.

    පසුගිය දශක දෙක තුන තුළ අන්තර් ජාලය ප්‍රචලිත වීමත් සමග යූටියුබ් චැනලයන් සහ ඕපාදුප පන්නයේ වෙබ් අඩවි හතු පිපෙන්නාක් මෙන් මතු විය. රීච් වීමේ අපේක්ෂාව ඇතිව එම චැනලයන් සහ වෙබ්සයිට් ප්‍රවෘත්ති වාර්තා කළේ අමු අමුවේ ලිංගිකත්වය මූලික කරගෙනය. ස්ත්‍රියගේ නිරුවත උත්කර්ෂයට නංවමින් සහ ඇයගේ ලිංගිකත්වය උලුප්පා දැක්වීම මගින් ප්‍රේක්ෂකයාගේ කුණුරසය ඇවිස්සීම එහි ප්‍රධාන අරමුණ විය. අවාසනාව එය නොවේ. එම භාවිතය අද දවසේ ප්‍රධාන පුවත්පත්වලටද කාන්දු වී තිබීමයි. එයට උදාහරණයක් වන්නේ ජාතික තලයේ පුවත්පතක් වන ලංකාදීප ඉහත කී පැමිණිල්ල වාර්තා කර තිබූ ආකාරයය. අතිශය පෞද්ගලික කාරණයක් වූ මෙම පැමිණිල්ල එම පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්කරගෙන තිබුණි. එවකට ‘දෙවියෝ සාක්කි’ පන්නයේ කොලමයන් වාර්තා කළ අන්දමට පුවත්පතේ මුල්පිටුවේ සිරස්තල වාර්තා කිරීම දක්වා පල්ලම් බැස තිබේ.

    මෙම පිරිමි පරාජිත මනෝභාවයේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට ලක්වන තවත් එක් චරිතයක් බවට පත්ව ඇත්තේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිය. දේශපාලන භාෂණයේ බුහුටි කමක් නොපෙන්වන සහ ඒ සඳහා දහම් පාසල් කතික සංගම් ශිෂ්‍යාවක දක්වන මට්ටමේ දුර්වල සන්නිවේදන හැකියාවක් ඇති ඇය ස්ත්‍රී විරෝධී දෘශ්ටිවාදයේ ගොදුරක් වන හැටි දැකගන්නට හැකිය. මෑතකදී ඇයව විවේචනයට ලක් වුයේ ‘ජනතා නියෝජිතයන් පවසන යමක් බොරුවකැයි කීමට ජනතාවට අයිතියක් ඇතැයි’ යන ඇයගේ ප්‍රකාශය විකෘති ලෙස අර්ථ ගන්වමිනි. ඩේලි මිරර් ඉංග්‍රීසි පුවත්පත ඇයගේ එම ප්‍රකාශය වාර්තා කොට තිබුනේ “ජනතාවට බොරු කීමට අයිතියක් ඇත” යන්නෙනි. ඇත්ත වශයෙන්ම ඇය පෙනී සිටින්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙනි. එනම් ඔබට ඔබ විශ්වාස කරන දේ පැවසීමට, ජනතා නියෝජිතයන් ප්‍රශ්න කිරීමට අයිතියක් ඇතැයි යන ප්‍රජාතන්ත්‍රවාදී අගනාකම සහ අයිතිය වෙනුවෙනි. ඇය පෙනී සිටින්නේ ඩේලි මිරර් පත්තරය ඇයගේ ප්‍රකාශය විකෘති කොට ඇති වුවද එම අයිතිය ඔවුනට ඇතැයි යන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙනි. එහෙත් ඩේලි මිරර් පුවත්පතට ඇයගේ ප්‍රකාශය විකෘති කරන්නට තරම් ඇයගේ භාෂණයේ නුහුරුව විසින් තතු සපයා තිබිණි. ඇයගේ අපරණිතභාවය නිසාත් ඇය ස්ත්‍රියක් නිසාත් ඇයට භාෂණයේ නිදහස වැන්නක් කතා කිරීමට තරම් හැකියාවක් ඇතැයි අදාළ පිරිමි ලෝකය තුළ නොමැති නිසාත්, ඇය නිකම්ම නිකම්, ‘කට වාචාල,’ ‘අනුවණ’, ‘භාෂාවක් හැසිරවීමට නොහැකි’ ලිංගික වස්තුවක් බවට ජනගත කරමින් තිබේ.

    පිරිමින්ට මෙන් නොව ස්ත්‍රීන්ට දේශපාලනය කිරීමේදී ගෙවන්නට වන වන්දියක් තිබේ. එනම් ඔවුන් දේශපාලනයට පැමිණිය යුත්තේ සිය ලිංගිකත්වය මුල් කොටගත් අනන්‍යතාවය ඕනෑම විටෙක තර්ජනයට ලක්විය හැකිය යන ආස්ථානයෙනි. මෙම තර්ජනය කෙතෙක්ද යත් මුළු මහත් ආණ්ඩුවකට ඇති විවේචනය ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචන්ඩත්වයක් ලෙස මෙම සිද්ධිය තුළ ගැබ්ව තිබීමය.

    මෙම පැමිණිල්ල සම්බන්ද කතිකාව දෙස බලන්න. එයට මුලික කොට ගන්නේ පිරිමියා නොව, ස්ත්‍රින්ය. ‘කොටු පනින්නේ’ ස්ත්‍රීන් බව පැමිණිල්ල විභාග කරන්නටත් කළින් තීරණය කොට ඇත. එනම් පරාජිත විපක්ෂ දැක්ම තුළ මෙම ප්‍රශ්නයට අදාළව අධිනිශ්චය වී ඇත්තේ දේශපාලනය නොව කාන්තාවගේ ලිංගිකත්වයයි. ඊට අදාළ සංස්කෘතික පසුගාමී හා ස්ත්‍රී විරෝධී ලෝක දැක්මයි. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ ගැවසෙන මෙම විවෙචකයින්ගේ ලෝකය සදාචාර පොලීසියක් බවට පත්ව ඇත්තේ ඒ නිසාය. ඇත්තය; සමාජ සම්මුතියක් රඳා පවතින්නේ නීතියෙන් පමණක් නොවේ. සදාචාරය එහි වැදගත් කාර්යක් සිදු කරයි. එහෙත් එම සදාචාරයේ නිර්ණායකය සහ දිග පළල ස්ත්‍රියගේ ලිංගිකත්වයෙන් අහවර වීම විසින් පෙන්නුම් කරන්නේ පිරිමි මහේක්ෂ්‍ය දේශපාලනයේ සීමාව මිස අන් යමක් නොවේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here