මලෛයහම් දමිළ ප්‍රජාව වෙනස්කොට සැලකීමට ලක් වීමේ ඉතිහාසය, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ඉතිහාසය තරමටම පැරණිය.
සියවස් දෙකකට අධික කාලයක් මුළුල්ලේ රටේ ආර්ථිකයට ඔවුන් ලබා දෙන දායකත්වය තීරණාත්මක එකක් වුවද ඔවුන් සමාන පුරවැසියන් ලෙස පිළිගැනීම හා සෙසු පුරවැසියන් භුක්තිවිඳින අයිතිවාසිකම් ලබා දීම, දශක ගණනාවක් තිස්සේ බලයට පැමිණි ආණ්ඩුවල කඩවුණු පොරොන්දුවකි. තේ වත්තටම ගොස් ඔවුන්ගේ දුක සැප බලන පොදු ජනතාවගේ ජනාධිපතිවරයකු සිටියදී පවා එම තත්ත්වයෙහි වෙනසක් සිදු වී නැති බව, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූ මලෛයහ ප්‍රජාව මුහුණ පා ඇති ඛේදජනක ඉරණමෙන් පෙනේ.

ඉකුත් නොවැම්බර් මස 28 වැනිදා දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගියේ මධ්‍යම කඳුකරය ඇතුළු බොහෝ ප්‍රදේශ උඩු යටිකුරු කරමිනි. එය ශ්‍රී ලංකාවේ මෑත කාලයක සිදු වූ දරුණුතම ස්වභාවික උවදුර ලෙස හැඳින්විය හැකිය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල දත්ත අනුව ජීවිත හානි සංඛ්‍යාව 680කට ආසන්න වන අතර 154කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇත. නිවාස 5,902ක් සම්පූර්ණයෙන් විනාශ වී 115,179කට අර්ධ හානි සිදු විය. ජාත්‍යන්තර ඇස්තමේන්තු අනුව ආර්ථික හානිය ඩොලර් බිලියන 4.1කට ආසන්න වන අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%කට ආසන්න අගයකි.

ව්‍යසනය සිදු වූ මොහොතේ අවතැන් වූවන්ට පමණක් නොව ආපදාව ලක් වූ සියලු දෙනාටම ආපදා සහන සලසා දෙන බවට රජය ප්‍රකාශ කළේය. නමුත් එම ව්‍යසනය සිදු වී මාස හතරකට අධික කාලයක් ගෙවී ගොස් තිබුණ ද, ඇතැම් ප්‍රදේශවල අවතැන් වූවෝ තවමත් නිසි විසඳුමක් නොමැතිව අවම පහසුකම් යටතේ පාසැල්, කූඩාරම්, පැරණි විනාශ වෙමින් පවතින වතු ගොඩනැගිලිවල සහ තාවකාලික කඳවුරු භූමි තුළ දිවි ගෙවති. විශේෂයෙන්ම මෙම ආපදාවෙන් බරපතළම බලපෑමට ලක් වූ මලෛයහම් දමිළ ජනතාව බහුතරයකගේ තත්ත්වය කනගාටුදායකය. ඉතිහාසය පුරාම එම ප්‍රජාව අත්විඳි නිවාස ගැටලුව, මෙම තත්ත්වයට උග්‍ර කිරීමට හේතු වී තිබේ.
ලයින් දිවියම විපතකි!

මලෛයහම් දමිළ ජනතාවගේ ඉතිහාසය අවුරුදු 200කටත් එහා කාලයක් දක්වා දිවයයි. 1823 දී බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් දකුණු ඉන්දියාවෙන් ඔවුන් රැගෙන ආවේ කෝපි සහ තේ වතු සඳහා ය. බ්‍රිතාන්‍ය පාලකයන් ඔවුන්ට ලබාදුන්නේ පේළි නිවාස පමණි. එක කාමරයක පවුල් කිහිපයක් ජීවත් වූ මේ ගෙවල්වල සනීපාරක්ෂාව, ජලය සහ විදුලිය බොහෝ විට නොතිබුණි. ඔවුන්ට ඉඩම් හිමිකම් කිසිවක් ලබාදුන්නේ නැත. ගෙවල් සහ ඉඩම් තේ සමාගම්වලට අයත්ව තිබුණි.
1948 නිදහසෙන් පසුවත් මෙම ජනතාව “විදේශිකයන්” ලෙස සැලකීම නිසා පුරවැසිභාවය, ඉඩම් අයිතිය සහ මූලික අයිතිවාසිකම් හිමි වූයේ නැත. 1972, 1975 වසර වලදී සිදු වූ ඉඩම් ප්‍රතිසංස්කරණ මගින් වතු ජනසතු කළ ද, බොහෝ ඉඩම් සිංහල ගොවීන්ට ලැබුණු අතර මලෛයහම් ජනතාව ලයින් කාමරවලට පමණක් සීමා විය. අදටත් බොහෝ පවුල් වසර සියයක් තරම් පැරැණි තනි කාමරයක ජීවත් වෙති. මලෛයහම් ජනතාවගෙන් වැඩි කොටසක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූයේ පැරණි, දිරාපත් වූ සහ අවිධිමත් ලෙස ඉදිකර ඇති මෙම පේළි නිවාස හේතුවෙනි.

තේ අපනයනය තුළින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන් නමුත්, ඔවුන් සමාජීයව සහ ආර්ථිකව බැහැර කර තිබේ. සුළි කුණාටුවෙන් පසු සහන සැපයීමේ ක්‍රියාවලියද එම කාරණය නැවත නැවතත් තහවුරු කර තිබේ. ඒ ආපදාවෙන් පීඩාවට පත් අනෙකුත් ජනතාව සහ මලෛයහම් දමිළ ජනතාව අතර සහන සේවා ක්‍රියාත්මක වී ඇති ආකාරයේ පරස්පරතා හේතුවෙනි. එපමණක් නොව මලෛයහම් ජනතාව පවසන පරිදි ඔවුන් බොහෝ දෙනෙක් ස්වකීය නිවෙස් වෙත යවා ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (National Building Research Organisation – NBRO) මගින් භූමි වල තත්ත්වය හෝ පරීක්ෂා කිරීමක් හෝ නොකොටය. එලෙස පදිංචි වූ බොහෝ පිරිසකගේ නිවාස හෝ නිවාස ඇති භූමිවල ඉරිතැලුම් ලකුණු දැකිය හැකි බවත්, ජීවත් වීමට නුසුදුසු, අනාරක්ෂිත තත්ත්වයක ඇති බවත් බොහෝ තැන්වලින් අසන්නට ලැබිණි. නැවතත් වැසි තත්ත්වයක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස දන්වා ඇති නමුත් ආරක්ෂිත ස්ථාන කවරේද යන්න හෝ දන්වා නැති බවත් ඔවුහු පවසති.
රජයට යෝජනා 15ක්

ඌව ශක්ති පදනමේ විධායක අධ්‍යක්ෂක මෙන්ම මලෛයහම් ප්‍රතිසංස්කරණ සඳහා වූ සිවිල් සංවිධාන එකතුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන නඩේසන් සුරේෂ් මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූවේය. “මලෛයහම් ප්‍රජාව හැමදාමත් හිටියෙ ආපදාවට ලක් වෙලා වගෙයි. දිට්වා කියන්නේ ඒ ආපදාවකට ලක් වුණ ප්‍රජාවකට සිදු වූ තවත් ආපදාවක්. මලෛයහම් දෙමළ ප්‍රජාවට හැමදාමත් ලැබුණේ කුඩම්මාගේ සැලකිලි. ඒත් අපි හිතුවා මේ වගේ ව්‍යසනයක් සිදු වූ වෙලාවක හෝ සමානාත්මතාවයකින් යුතුව කටයුතු කරයි කියලා. නමුත් මූලික අවශ්‍යතා, වන්දි මුදල්, නිශ්චිත ස්ථානයක්, ස්ථිර විසදුමක් ආදී කිසිවක් නොමැතිව තාවකාලික කඳවුරු තුළ ජීවත් වෙනවා. ඇතැම් අය ජීවත් වන්නේ පාසල්වල. ඒ අය උදේට පාසල පවත්වන්න පාසලෙන් ඉවත් වෙනවා. නැවතත් හවසට පාසලට එනවා. ඒ අයගේ මානසිකත්වය මොන වගේ ඇතිද කියලා කාටවත් හිතාගන්න පුළුවන්ද?
ආපදාවක් සිදු වූ පසු අවතැන් කඳවුරු තුළ රඳවා තැබිය හැක්කේ මාස තුනක් වැනි කාලයක් පමණයි. නමුත් මේ වන විට මාස හතරකුත් ගෙවිලා අවසන්. ආපදා තත්ත්වය තුළත් දිගින් දිගටම සිදු වන නොසලකා හැරීම පිළිබඳව අපි පසුගිය දිනයක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ වගේම මලෛයහම් ප්‍රතිසංස්කරණ සඳහා වූ සිවිල් සංවිධාන එකතුව විදිහට අපි යෝජනා 15කින් යුතු යෝජනාවලියක් සකස් කළා.
1. නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ හෝ නැවත පදිංචි කිරීමට අවශ්‍ය මලෛයහ දමිළ පවුල් සඳහා රුපියල් මිලියන 5ක් ලබාදිය යුතුය. අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා රුපියල් මිලියන 2.5ක් දක්වාද ගෙවිය යුතුය. ඊට අමතරව, ඉඩමක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් ඇත්නම්, රුපියල් මිලියන 5ක් දක්වා වෙන් කළ යුතුය (NDRSC/02/04/10 චක්‍රලේඛනයට අනුව).
2. රටේ සෙසු පුරවැසියන්ට හා සමානව, කිසිදු වෙනස් කොට සැලකීමකින් තොරව සුදුසුකම් ලත් මලෛයහ දමිළ ජනතාවට නිවාස සහ අනෙකුත් හානි සඳහා සහන හා වන්දි ලබාදිය යුතුය. ආපදා සහන සැලසීමේදී සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේදී වතු සේවකයන් සහ සේවකයන් නොවන අය අතර කිසිදු වෙනසක් නොකළ යුතුය.
3. මේ රටේ භූමිය සමඟ මලෛයහ දමිළ ජනතාවගේ සම්බන්ධතාව සහතික කිරීම සඳහා, වතුකරයේ ප්‍රදේශ තුළ විධිමත් ඉඩම් ඔප්පු සහිත තනි නිවාස ලබාදිය යුතුය. වතුකර ප්‍රදේශවල මහල් නිවාස ආකාරයේ (බහු මහල්) නිවාස ව්‍යාපෘති ප්‍රතික්ෂේප කළ යුතුය.
4. ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය දිට්වා ව්‍යසනය සඳහා සහන සැලසීමට හෝ වෙනත් මාර්ගයකට යොමු නොකළ යුතුය. එය වෙනම, සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස පැවතිය යුතු අතර මුලින් සැලසුම් කළ පරිදි කඩිනම් ආකාරයකින් ක්‍රියාත්මක කළ යුතුය.
5. දිට්වා නිවාස ව්‍යාපෘති මගින් වතු ජනාවාස නිසි මාර්ග, විධිමත් ලිපිනයන්, විදුලිය, පානීය ජලය, සමාජ යටිතල පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම්වලින් සමන්විත ඒකාබද්ධ ගම්මාන ලෙස නැවත ගොඩනැගිය යුතුය. මෙම ක්‍රියාවලිය “වතු පද්ධතිය” අහෝසි කිරීමට සහ ඒවා “නව ගම්මාන” බවට පරිවර්තනය කිරීමට පහසුකම් සැලසිය යුතුය.
6. ඉඩම් අයිතිය සහ ‘නව ගම්මාන’ නිර්මාණය සහතික කිරීම සඳහා, වැවිලි සමාගම් සමඟ ඇති බදු ගිවිසුම් වහාම සංශෝධනය කළ යුතුය.
7. තාවකාලික කඳවුරු, කූඩාරම් සහ වෙනත් ස්ථානවල දැනට දුක් විඳින ජනතාව විවිධ ස්ථානයන්ට මාරු කරනු වෙනුවට, ඔවුන්ට ගෞරවයෙන් සැලකිය යුතුය. අතිශයින් වැදගත් වන්නේ, නව නිවාස සඳහා ඉඩම් හඳුනා ගැනීම සම්බන්ධ තීරණ ගැනීම කළ යුත්තේ බලපෑමට ලක්වූ පවුල් සමඟ සාකච්ඡා කිරීමෙනි.
8. ඉඩම් හිමිකාරිත්වයේ අයිතිය කාන්තාවන්ට සමානව ලබාදිය යුතුය.
9. ඉඩම් හිමිකාරිත්වය සහිත ස්ථිර නිවාස විසඳුමක් ලබාගන්නා තෙක්, සුදුසු ස්ථානවල සංක්‍රාන්ති නිවාස වහාම ලබාදිය යුතුය. මෙම නිවාස මූලික පහසුකම්වලින් සමන්විත විය යුතු අතර ජාත්‍යන්තර මානුෂීය ප්‍රමිතීන්ට (SPHERE ප්‍රමිතීන්ට) අනුකූල විය යුතුය.
10. කෘෂිකර්මාන්තය, පශු සම්පත්, ව්‍යවසාය සහ ජීවනෝපාය ආශ්‍රිත හානි ආවරණය කරමින් මලෛයහ දමිළ පවුල් සඳහා රජයේ සහන සහ වන්දි ලබාදීමේදී, ඔවුන්ගේ නිශ්චිත අවදානම් සහගතතත්ත්වයන් විසඳීම සඳහා හුදෙක් විධිමත් සමානාත්මතාවයෙන් ඔබ්බට ගිය සාධාරණ (equitable) ප්‍රවේශයක් රජය විසින් අනුගමනය කළ යුතුය.
11. ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම පුරවැසියන්ට මෙන්, මලෛයහ දමිළ ප්‍රජාව සඳහා සහන සහ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා හරහා යොමු කළ යුතුය. මේවා පෞද්ගලික සමාගම්වලට හෝ වැවිලි මානව සංවර්ධන භාරයට (Plantation Human Development Trust – PHDT) පවරා නොදිය යුතුය.
12. මලෛයහ දමිළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම්වලට ගරු කළ යුතුය. සියලුම අයදුම්පත්, නිල නිවේදන සහ සන්නිවේදනයන් දෙමළ භාෂාවෙන් ලබාදිය යුතුය. රජයේ කාර්යාල මෙම පවුල් සමඟ ඔවුන්ගේ භාෂාවෙන් සන්නිවේදනය කරන බවට සහතික කළ යුතුය.
13. සහන සහ වන්දි ලබා ගැනීමේදී දුෂ්කරතා හෝ දුක් ගැනවිලි තිබේ නම්, කාලෝචිත විසඳුම් ලබාදීම සඳහා විධිමත් දුක් ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණ ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් ස්ථාපිත කළ යුතුය.
14. කිසිදු කෙටි කාලීන ආපදා සහන පියවරක් මලෛයහ දමිළ ජනතාවගේ ඉඩම් සහ නිවාස අයිතිවාසිකම් සඳහා වන දිගුකාලීන ඉල්ලීම් හෝ අරගලයට පටහැනි යමක් නොකළ යුතුය.
15. දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වතුවල පාලම්, මාර්ග, පඩිපෙළ, රැඳවුම් බිත්ති සහ ප්‍රජා ගොඩනැගිලි ඇතුළු ප්‍රජා යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය සම්පූර්ණ වගකීම භාරගත යුතුය. පළාත් පාලන ආයතනවලට අරමුදල් වෙන් කිරීමට සහ වතු තුළ යටිතල පහසුකම් අලුත්වැඩියාව සහ සංර්වධනය සිදු කිරීමට ඉඩ සලසන නීතිමය විධිවිධාන පිළිබඳව රජය ප්‍රාදේශීය සභාවලට පැහැදිලි උපදෙස් ලබාදිය යුතුය. මෙම ප්‍රදේශවලට පළාත් පාලන ආයතනයන්හි මැදිහත්වීම වළක්වන ආකාරයේ කිසිදු නීතියක් දැන් නොමැති අතර, ඒ පිළිබඳව අපැහැදිලි බවක් තිබේ නම්, එය පැහැදිලි කළ යුතුය.
අගමැතිතුමියටත් මේ යෝජනාවලිය ඉදිරිපත් කළා. ඉතා ඉක්මණින් මේ යෝජනාවලියට එකඟතාවක් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා.”
මහපාරේ පොංගල් සැමරීම

මලෛයහම් ප්‍රතිසංස්කරණ සඳහා වූ සිවිල් සංවිධාන එකතුවේ සම කැඳවුම්කරු සහ iPEN (Institute for People Engagement and Networking) ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ජීවරත්නම් සුරේෂ් ද මලෛයහ ප්‍රජාව මුහුණ පා සිටින දුෂ්කර තත්ත්වය පිළිබඳව සඳහන් කළේය. “මලෛයහම් ජනතාවට කොයිතරම් පහත් විදියට සලකනවා ද කියනවා නම් බහුතරයක් අවතැන් කඳවුරු භූමිවල පානීය ජල පහසුකමවත් නෑ. සහන මධ්‍යස්ථානවලවත් සහනයක් නෑ. අපිට කිව්වා ජනවාරි පළමුවන දා වන විට ඉඩමක්, නිවසක් ලබා දෙනවා. ඒ වෙනුවෙන් සැලසුමක් තියෙනවා කියලා. නමුත් ඒ කිසි දෙයක් ලැබුණේ නෑ. පාරට වැටුණු අපි මහ පාරේ තෛපොංගල් සමරලා ආණ්ඩුවට පණිවිඩයක් දුන්නා අපි තවමත් මහපාරේ කියලා. නමුත් ඒකට ඇහුම්කන් දුන්නේ නෑ. මම පසුගිය දිනයක බදුල්ලේ අවතැන් කඳවුරකට ගියා. එතන ඉන්න අයට ආපහු අලුත් බලාපොරොත්තුවක් දීලා තියෙනවා සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙද්දී සාධාරණයක් ඉටු කරනවා කියලා. දැන් ඒ ගැන තමයි ඒ ජනතාව බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.
ආපදා සහන මධ්‍යස්ථානය NDRSC/02/04/10 චක්‍රලේඛය නිකුත් කළා ආපදා සහන සම්බන්ධයෙන්. එහි දැක්වෙන්නේ ආපදාවට ලක් වූ අයට ලබා දෙන සහන, වන්දි ලබා දිය යුතු ආකාරය පිළිබඳවයි. නමුත් එහි දැක්වෙන වන්දි මුදල් මලෛයහ ජනතාවට ලබා ගැනීමේ හැකියාවක් නෑ. ඒ අයිතිය අපිට හිමි වන්නේ නෑ. මොකද මලෛයහ ප්‍රජාවගේ බහුතරයක් ජීවත් වන්නේ වතුවල. ඉඩම් අයිතිය නෑ. මලෛයහ ජනතාව වාසය කරන පේළි නිවාස වසර සියයකටත් වඩා පැරැණියි. සෙවිලි තහඩු දිරාපත් වෙලා. ඒ ටකරන් තහඩු හුළඟේ යනවට ගල් තියලා තියෙන්නේ. මේ චක්‍රලේඛයේ සඳහන් වෙනවා වහලයට අනවශ්‍ය බර වැටී තිබේ නම්, නිවසේ අත්තිවාරමට කිසියම් හානියක් වෙලා නම් එය ආපදාවට ලක් වූ නිවසක් ලෙස සලකනවා කියලා. ආපදාවට ලක් නොවූ මලෛයහ ජනතාව ජීවත් වෙන එකදු පේළි නිවසක්වත් නෑ. නමුත් මලෛයහම් දෙමළ ප්‍රජාවට නිවාස සඳහා වන්දි මුදල් හිමි වන්නේ නෑ.


සමහර අවතැන් කඳවුරු හදලා දීලා තියෙන්නෙ වත්තෙන්. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඒ වගේ අවතැන් කඳවුරක් ගැන මම ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කතා කරලා ඇහුවම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ඉතා පැහැදිලිව කිව්වා ‘ඔයාලා වත්තෙනෙ. වත්තෙන් ඒවා බලාගනියි’ කියලා. ඒ සම්බන්යෙන් ආපදා කළමනාකරණ ජාතික මධ්‍යස්ථානයට කතා කළාම ඔවුන් කියන්නේ ‘අපි ඒ පිළිබඳ චක්‍රලේඛයක් සකස් කරමින් ඉන්නවා’ කියලා. ආපදා තත්ත්වය ඇති වෙලා මාස හතරක් ගත වෙලත් තාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය චක්‍රලේඛ සකසමින් ඉන්නවා.
ඒ වගේම තමයි භාෂා ගැටළුව. මාස හතරක් ගත වෙලත් අද වනතුරුත් වන්දි ලබා ගැනීමට හෝ කුලී නිවාස ලබා ගැනීමට හෝ අයදුම්පත් දෙමළ භාෂාවෙන් නෑ. අවම වශයෙන් රජයෙන් ආපදා සහන සම්බන්ධව නිකුත් කළ චක්‍රලේඛයවත් දෙමළ භාෂාවෙන් නිකුත් කළේ නෑ. මේ හැම දෙයක්ම අවසානයේ මේ රටේ පුරවැසියන් ලෙස නොසලකන්නේ ඇයි කියන ගැටලුව අපිට තියෙනවා.”
පවුල් ගණනාවක් අධි අවදානමේ

කෑගල්ල දිස්ත්‍රික්කය අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෝතල්ඔය වත්තේ ජීවත් වන සෙලවරාජ් සදාසිවම් ද අදහස් දක්වමින් ඔවුන්ගේ තත්ත්වය ද ඊට වඩා වෙනස් නොවන බව පැහැදිලි කළේය. “පසුගිය නොවැම්බර් 27 වැනි දින ලංකාවටම ඇතිවුණු දිත්වා සුළි කුණාටුවෙන් අපේ ප්‍රදේශය විශාල ලෙස ආපදාවට ලක්වුණා. කඳු නාය ඇවිත් අපි එදිනෙදා භාවිත කරන ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. අපි මාස තුනක් විතර කොටුවෙලා වගේ අපේ ගමේ හිටියේ. ඇත්තටම කිව්වොත් අපිට කන්න බොන්න හොයාගන්නවත් බෙහෙත් ටිකක් ගන්නවත් යන්න විදියක් නෑ. මොකද බස් එකක්වත් වැඩ කරන්නේ නැති නිසා.
මේ තරම් විශාල හානියක් වුණත් අපිව බලන්න කිසිම නිලධාරියෙක් ඒ දවස්වල ගමට ආවේ නෑ. රජයේ පාර්ශ්වයෙන් කවුරුත් ඇවිල්ල අපේ වත්තේ මිනිස්සු ගැන හොයලා බැලුවෙත් නෑ. ඉස්කෝලෙ යන ළමයි කිසිම කෙනෙකුට ඉස්කෝලයකටවත් යන්න බැරි තත්ත්වයක් උදාවුණු නිසා අපි උද්ඝෝෂණයකුත් කළා. උද්ඝෝෂණ කළාට පස්සෙ අන්තිමේදී යාන්තම් අපේ පාරවල් ටිකේ පස් ටික අයින් කරලා දුන්නා යන්න පුළුවන් විදියට. ඊට පස්සේ වැහැපු වැස්සකින් නැවත පාරවල් කැඩිලා ආපසු යන්න බැරි තත්ත්වයක් උදා වුණා. නැවතත් විශාල මුදලක් වැය කරලා ඒ පාරවල් හැදුවා.
ඒත් දැන් අපේ වත්තේ පවුල් 45කගේ නිවෙස් අධි අවදානම් යැයි සඳහන් කරලා තියෙනවා. නමුත් මේ වනතුරු කිසිම රජයේ නිලධාරියෙක් ගමට ඇවිත් ඒ ගැන කිසිවක් පැහැදිලි කළේ නෑ. ඉවත් වෙනවා නම් ඒ කොහේටද? ඉදිරියේ දී ගෙවල් හදලා දෙන්නේ කොහොමද? වගේ මූලික තොරතුරු හෝ ලබා දුන්නේ නැහැ. මේ ගැන අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසුවාම ඒ නිලධාරීන් කියනවා ‘වත්තෙන් තමා ඔයාලට ගෙවල් හදලා දෙන වැඩ ඔක්කොම කරන්නේ’ කියලා. වත්තෙන් ඇහුවාම කියනවා අපි ඒවා අදාළ තැන්වලට, අමාත්‍යංශයට දැනුම් දීලා තියෙන්නේ එහෙන් අපිට හරි උත්තරයක් ලැබිල නෑ කියලා.


රජයෙන් දෙනවයි කියපු විසිපන්දහේ දීමනාවවත් අපට ලැබුණෙ නෑ. විසිපන්දහේ දීමනාව ගන්න ගියාම ග්‍රාම නිලධාරිතුමා අත්සන් කරන්න බැහැ කියනවා. ඔවුන්ට දීලා තියෙන චක්‍රලේඛය අනුව. මේ පවුල් හතළිස්පහට කිසිම දීමනාවක් රජයෙන් තාම දීල නෑ. ජනාධිපතිතුමා කිව විදිහට ආපදාවට පත් වෙච්ච මලෛයහම් ජනතාවගේ නිවාස වලට හෝ වන්දි ලැබිලා නෑ. අපිත් මේ රටේ ජීවත් වෙන මිනිස්සු. අපි ඉපදුනේ මේ රටේ නම්, අපි හම්බකරලා දෙන්නෙත් මේ රටට නං ඇයි අපිට වෙනස් කොට සලකන්නේ. අපි ඉල්ලන්නේ ආපදාවට ලක් වුණ මලෛයහම් ජනතාවටත් ආපදාවට පත් වෙච්ච ජනතාවට දෙන දීමනාවන් සියල්ලම ලබා දෙන්න කියලා”
පුළුල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි

මලෛයහම් දමිළ ප්‍රජාව දිගුකාලීනව මුහුණ දෙන මෙම අසාධාරණය, විපතකදී පමණක් නොව, සෑම දිනකම ඔවුන්ගේ ජීවිතයේ සංකේතයක් බවට පත්ව තිබේ. වැවිලි ක්ෂේත්‍රයෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ඔවුන්, විපතේදී පවා සමාන පුරවැසියන් ලෙස සැලකීමට ලක් නොවීම බරපතළ සමාජ ගැටලුවකි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම්වල පාර්ශ්වකරුවෙකු ලෙස සිටියදී, ICCPR 26 වන වගන්තියෙන් තහනම් කර ඇති “වෙනස්කොට සැලකීම” තවදුරටත් පවත්වාගෙන යාම රටේ සදාචාරාත්මක සහ නීතිමය වගකීමට බරපතළ හානියක් වනු ඇත.
විපතකදී සියලු ශ්‍රී ලාංකිකයන් එකම රටක සමාන සාමාජිකයන් ලෙස සැලකීම, ජාතික සමගියේ සැබෑ මූලික පියවරයි. එය ක්‍රියාත්මක නොකිරීමෙන් රටේ සමස්ත සංවර්ධනයටත්, මානව හිමිකම් ආදර්ශයටත් බරපතළ හානියක් සිදු වේ.
මලෛයහම් දමිළ ප්‍රජාවට සාධාරණය ඉටුකිරීම යනු, ඔවුන්ගේ දුකට සවන් දීම පමණක් නොවේ එය ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලු දෙනාගේ සමානකම සහ එකමුතුකම තහවුරු කිරීමේ සංකේතයකි. දිගුකාලීන අසාධාරණය අවසන් කිරීම සඳහා සැබෑ ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් කටයුතු කිරීම රජයේ මෙන්ම පුරවැසි සමාජයේද වගකීමකි.

(සටහන | සෝබා කෝලියවංශ)
[email protected]




