“මගේ සමහර ඡායාරූප AI තාක්ෂණය ඔස්සේ නිරුවත් කරලා තිබුණා. AIවලින් බිකිණි අන්දවලා ඒවා තව පුරුෂ පාර්ශ්ව එක්ක සම්බන්ධ කරලා ෂෙයා වෙලා තිබුණා. ඒ වගේ තත්වයකට සයිබර් හිංසනය ගිහින් තියන එක ලොකු ගැටළුවක්.”
අංකුර මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිනියක වන සවින්ද්‍යා ගේ එම ප්‍රකාශයෙන් පිළිබිඹු වන්නේ මෙරට කාන්තා දේශපාලකයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන ඉලක්කගත අපහාස කිරීම්වල තවත් එක් පැතිකඩකි. මෑතක දී සක්‍රීය දේශපාලනයට අවතීර්ණ වූ ඇය අද දක්වාම විවිධාකාරයේ සයිබර් හිංසනවලට මුහුණ දෙන්නී ය.
ඇයගේ අත්දැකීම තවත් එක් හුදකලා සිදුවීමක් පමණක් නොවේ. මෙරට දේශපාලන තරග බිමට ඇතුළුවන බහුතරයක් කාන්තාවෝ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෛරී ප්‍රකාශ, හිරිහැර කිරීම් සහ ඔවුන් ලැජ්ජාවට පත් කිරීමට, නිහඬ කිරීමට සහ බිය ගැන්වීම පිණිස නිර්මාණය කෙරෙන ඩිජිටල් අන්තර්ගතයන් ගේ රැල්ලකට මුහුණ දෙති.

දේශපාලන ප්‍රතිපත්ති විවේචනයෙන් ඔබ්බට ගොස් හුදෙක් ලිංගිකත්වය උලුප්පා දක්වන ප්‍රකාශ සිදු කිරීම, පෞද්ගලික ජීවිතය සම්බන්ධ කාරණා ඉස්මතු කිරීම, පක්ෂයක ප්‍රබල චරිතයක් සමඟ ඈදා කෙරෙන ප්‍රකාශ ආදියෙන් දේශපාලනයේ නියුතු කතුන් සමාජ මාධ්‍ය වේදිකාවල පක්ෂ පාට භේදයකින් තොරව පීඩා විඳිති.
“මම කිහිප වරක් CID සයිබර් ක්‍රයිම් එකට පැමිණිලි කරලා තියනවා. නමුත් ඒවාට කිසිම ක්‍රියාත්මක වීමක් සිදුවුණේ නැහැ,” යනුවෙන් දේශපාලන ක්‍රියාකාරිනියක සහ කොළඹ සරසවියේ උපාධි අපේක්ෂිකාවක සවින්ද්‍යා එදිරිමාන්න කියා සිටියා ය.
කාන්තා දේශපාලන චරිත හිංසනයට ලක් කිරීම ලංකාව තුළ රැල්ලක් බවට හැරවී ඇතැයි ඇය චෝදනා කරයි.
“සජබ ද, මාලිමාව ද, පොහොට්ටුව ද කියලා නෑ හරිම කැත විදියට බලපෑම් කරනවා. සමහර වෙලාවට හිංසා කරන එකෙන් එහාට ගිහින් තර්ජන ගර්ජන මානසික පීඩා එන තරමට පත් කරලා.”
කාන්තා නියෝජනය අඩුවෙන්න හිංසන බලපානවා

මැතිවරණ සමයන්හි දී මෙම ගැටලුව වඩාත් උග්‍ර ලෙස අත්විඳින්නට, දකින්නට ලැබෙන්නකි. නමුත් මැතිවරණ නොමැති කාලවල පවා කාන්තා දේශපාලකයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන පීඩා දැඩි වෙයි. විටෙක ඒවා දේශපාලන ව්‍යාපෘති ලෙසින් සිදු කරගෙන යන්නක් බව සක්‍රිය දේශපාලනයේ නියුතු කතුන්ගේ අදහසයි.
සක්‍රිය දේශපාලනයට පිවිසෙන කාන්තාවන් සයිබර් අවකාශයේ පැහැදිලි ඉලක්ක බවට පත්වෙයි. කාන්තා දේශපාලකයන්, අපේක්ෂිකාවන් මෙන්ම ක්‍රියාකාරිනියන් බොහෝවිට ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෛරී ප්‍රකාශ, ලිංගික අපහාස සහ ඔවුන්ගේ විශ්වසනීයත්වය පළුදු කරන අන්දමේ සහ දේශපාලනයට සහභාගී වීම අධෛර්යමත් කිරීම අරමුණු කරගත් ඉලක්කගත අපහාස කිරීම්වලට මුහුණ දෙති.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 2025 අග භාගයේ දී එළිදැක්වූ අධ්‍යයනයකට අනුව, ශ්‍රී ලංකාව තුළ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 29% කට ආසන්න ප්‍රමාණයක් තාක්ෂණයේ පහසුකම් සැපයෙන ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අත්විඳින අතර 66%ක් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ මාර්ගගත අපයෝජනවලට, ව්‍යාජ ගිණුම්, බිය වැද්දීම් වලට මුහුණ දී ඇත.
මෙම ඩිජිටල් ප්‍රචණ්ඩත්වයේ රැලි පුද්ගලික මට්ටමේ ප්‍රහාර ලෙස ලඝු කළ නොහැකි බවත්, ඒවායෙන් දේශපාලන නායකත්වයට සහ ප්‍රසිද්ධ විවාදවලට සහභාගී වීමට කතුන්ගේ ඇති කැමැත්ත අඩපණ කළ හැකි බවත් පර්යේෂකයෝ අනතුරු අඟවති.
මෙරට දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහල නැන්වීමට කෙතරම් උත්සහ කළ ද මෙවැනි හිංසන නිසා ඊට ඉඩ ඇහිරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න පවසන්නී ය.

“මම හිතන්නේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඇතුලෙම ගත්තොත් කාන්තා මන්ත්‍රිනීවරියන් අතුරින් වැඩිම අපහාසයට ලක්වුණු කෙනා මමද කියලා වෙලාවකට හිතෙනවා. වර්තමානයේ ඉන්න මන්ත්‍රීවරියෝ ගත්තත් ඒ සියලු දෙනාම ඉලක්ක කරගෙන පක්ෂ විපක්ෂ භේදයකින් නැතුව අපහාස එල්ල වෙනවා. සෝෂල් මීඩියාවල කොමෙන්ට් කරපු අය බැලුවම කාන්තාවෝත් ඉන්නවා. එතකොට මේ පුරුෂාධිපත්‍ය ද එහෙම නැතිනම් කාන්තාවෝ රැල්ලට ගිහින් කාන්තාවන්ටම අපහාස උපහාස කරනවද කියන ගැටලුව එනවා.”
දේශපාලනයට කැමැත්තක් ඇති කාන්තාවෝ පවා මෙවැනි සිදුවීම්වලින් අධෛර්යමත් වන බව යි මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.
“මගේ පවුලේ අයම වෙලාවකට අහනවා ඇයි ඔයා ඔයවගේ කතා අහන්නේ කියලා. අපි හිතමු තරුණියක් දේශපාලනයට එන්න කොච්චර අසාවෙන් හිටියත් පවුල්වල උදවිය කියන්න පුළුවන් යන්න එපා ඔයාගේ චරිතය විනාශ කරනවා කියලා.”
කවුරු කිව්වත් ආරක්ෂිත පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නෑ

දේශපාලනයට පැමිණීමේදී කාන්තාවන්ට කාන්තාවක් වීම නිසාම විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති බවත් කාන්තාව මායිම්කරණයට ලක්වී ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය, නීතිඥ විශාකා සූරියබණ්ඩාර පවසන්නී ය.
“ලංකාවේ වගේ සමාජයක පවතින්නේ පුරුෂාධිපත්‍ය සහිත මනෝභාවයක්. ඒ වගේම ශ්‍රී ලංකා දේශපාලනය බොහෝම තරගකාරී වෙලා. එතැනදී ඇත්තටම කාන්තාවන්ට සුවිශේෂ වූ තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. දැන් අද වගේ ගත්තොත් සමාජ මාධ්‍ය ප්‍රබල අවියක් වෙලා. තමන් කැමති විදියට මේ සමාජ මාධ්‍යයේ අදහස් දක්වන්න හැකිවෙලා තියෙනවා. තමන් අහලාවත් නැති කාන්තාවන්ට ඉතාමත්ම නරක විවේචන අපහාස කරනවා. මේ වගේ පරිසරයක කාන්තාවන් දේශපාලනය කළත් වෙනත් අභියෝගාත්මක ක්ෂේත්‍රයට නියලුණත් ඒකේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියනවා. මොකද කවුරු කිව්වත් ආරක්ෂිත පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නෑ. අපි මේ 52%ක් -මෙරට ජනගහනයෙන් 52% ක් වන කාන්තාවන්- ගැන කතා කරාට මේ 52% ආරක්ෂිතද ? අවම වශයෙන් ඔවුන්ට ඔවුන්ගේ අවම පහසුකම් සපයා ගැනීමට තරම් පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා ද? පවතින නීති ක්‍රියාත්මක වෙනවා ද කියන ප්‍රශ්නයක් තියෙනවා.”
දේශපාලන වේදිකාවක් අමතන සිය වීඩියෝවක් පළමු වරට වෛරල් වූ අවස්ථාවේ දී දේශපාලනයේ දිගටම රැඳී සිටීම ගැන දෙගිඩියාවක් තමන්ට ඇතිවූ බව සවින්ද්‍යා එදිරිමාන්න පවසන්නී ය.

ඒ අනුව, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයකට අයත් සමාජ මාධ්‍ය ගිණුමක ද පළ කර තිබූ එම වීඩියෝවට යොමු කර තිබුණු ප්‍රතිචාර අපි පරික්ෂා කර බැලුවෙමු. ඊට සමස්ත කොමෙන්ටු 6700ක් එක් කර තිබුණු අතර වැඩිදුර පරික්ෂාවේ දී අප හට පෙනී ගියේ එයින් කොමෙන්ටු දහසක් ඉක්මවා ගිය ප්‍රමාණයක් ඇයගේ ශරීරය ගැන, ඇඟළුම ගැන, අසැබි වදන් ඇතුළු වෛරී ප්‍රකාශවලින් යුක්ත බවයි.
“ලංකාවට විතරක් ලඝු වෙනවාට වඩා දකුණු ආසියාවේම….. සමාජය විසින් සම්මතයක් හදාගෙන තියෙනවා කාන්තාව මෙසේ විය යුතුයි කියලා. එතකොට අර ඔවුන් ගොඩනගාගෙන තියෙන සම්මතයෙන් එහාට කාන්තාව අඩිය තිබ්බ ගමන් අපහාස කරන්න ගන්නවා,” සවින්ද්‍යා එදිරිමාන්න පවසන්නී ය.
සිය මව ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනයේ නිරත වූ බැවින්, කුඩා කළ පටන් එවැනි කටුක අත්දැකීම්වලට මව මුහුණ දුන් ආකාරය ගැන අවබෝධයක් තමන්ට තිබෙන බව ඇය කියා සිටියාය.

“මට පොඩි කාලේ ඉඳන් ඒවා දැකපු නිසා මට එල්ල වෙච්ච අපහාස චෝදනාවලට මුහුණ දෙන්න මට හයිය තිබුණා. හැබැයි මම කියන්නේ නැහැ ඉස්සරහට දේශපාලනයට එන තරුණියන් ඒ ප්‍රශ්නවලට මුහුණ දිය යුතුයි කියලා. මේක කොතනින් හරි ඉවර වෙන්න ඕන. දේශපාලනයට එන කාන්තාව කුණුහරුප දරාගත යුතුයි කියන තැන මම නැහැ. කාන්තාවන්ට දේශපාලනය සක්‍රියව කරන්න සුරක්ෂිත වටපිටාවක් හදන්න ඕන.”
හොඳම ප්‍රති උත්තරය දිගටම දේශපාලනයේ නිරත වීම
සමාජ මාධ්‍ය භාවිතය මීට වඩා ප්‍රශස්ත විය යුතු බව රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවා ය.

“නීති මාලාවක් සකස් වෙන්න ඕන නියාමනය සම්බන්ධයෙන්, කාන්තාවෝ විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක් සමාජ මාධ්‍යයේ වේවා ඕනෑම තැනක අපහාසයට වෛරී ප්‍රකාශයට ලක්වෙනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක වෙන්න පුළුවන් තැනට. කනගාටුවට කරුණ තමයි අපේ රටේ එහෙම නීති තිබුනත් ක්‍රියාත්මක කරන්නේ නැති එක. මම පොලිස්පති ළඟත් සයිබර් ක්‍රයිම් එකෙත් පැමිණිලි දාලා තියෙනවා. හැබැයි අද වෙනකම් ඒ පැමිණිල්ලකට වෙච්ච දෙයක් නැහැ. මහජන නියෝජිතයෝ වෙච්ච අපිටත් නැතිනම් ඉන් පල්ලෙහා මට්ටමේ ඉන්න කිසිම හයියක් නැති කාන්තාවකට මොනවා වෙනවා ඇතිද ?”
නීතිමය මෙන්ම අධ්‍යාපනය ඔස්සේ ආකල්ප සංවර්ධනය ද මීට සමාන්තරව සිදු විය යුතු බව ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නා ය.
සයිබර් අවකාශය ඔස්සේ එල්ල වන අපහාසලට හොඳම ප්‍රති උත්තරය වන්නේ දිගටම දේශපාලනයේ නිරත වීම බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර පෙන්වා දෙන්නේ.

“පොදුවේ කාන්තාව දේශපාලනය කරනවාට එරෙහිව තමයි සමාජ මාධ්‍ය තුළ මතයක් හැදෙන්නේ. ඒ මතයට බය වෙන්නේ නැතිව හැකිළෙන්නේ නැතිව අඩියක් පස්සට ගන්නේ නැතිව තමන් දේශපාලකයෙක් විදියට එහෙම නැතිනම් තමාගේ වෙන ඕනෑම වෘත්තියක් තුල තමන්ගේ වෘත්තිමය සීමාව තුල තමන් කරන දේ හරියටම කරන එක තමයි කරන්න ඕන. සමාජ මාධ්‍ය අවකාශයට උත්තරයක් දෙන්න අවශ්‍ය නැහැ කියන එකයි මම හිතන්නේ. තමන් ඊට වඩා ශක්තිමත් කියන එක තේරුම් අරගෙන දේශපාලනය කරන එක තමයි ඒකට හොඳම උත්තරය.”
සමාජයේ කාන්තාව පිළිබඳ අභිමානයක් ගොඩ නැගිය යුත්තේ පුරුෂයා

සමාජය තුළ කාන්තාව පිළිබඳ අභිමානයක් ගොඩ නැගිය යුත්තේ පුරුෂයා විසින් බව මහාචාර්ය, විශාකා සූරියබණ්ඩාර කියා සිටියා ය.
“කාන්තාවක් කියන්නේ හැම තිස්සෙම පොදු සාධකයක් බවට පත් වෙන කුලකයක්. මේ පොදු සාධකය ශක්තිමත් කිරීම සඳහා මූලික අඩිතාලම අධ්‍යාපනය හරහා දීලා, අනෙකාට ගරු කරන සමාජය බිහි කිරීම සඳහා පුරුෂයා විසින් සමාජය තුළ කාන්තාව පිළිබඳ අභිමානයක් ගොඩගන්න ඕනේ. ඒක කාන්තාවට කරන්න බැහැ. මොකද එහෙම කරන්න කරන්න ඇය පහත් කොට සලකනවා ඇය දුර්වල ලෙස සලකනවා. කාන්තාව ඔසවන්නට ඕනේ අනෙකා. මම නොවන අනෙකා.වටිනාකම දෙන්න ඕන එතනින්”
සමාජ මාධ්‍ය ඔස්සේ කෙතරම් අපහාස කිරීම් එල්ල වුව ද දේශපාලනයේ සක්‍රීයව රැඳී සිටීමට සිය පවුලෙන් ලැබෙන දිරිමත් කිරීම් ඉවහල් වන බව සවින්ද්‍යා පවසන්නී ය.
“මම මුලින්ම වෛරල් ගිය වෙලාවේ මට හිතුණා මම ආයේ දේශපාලනය කරනවද කියලා. ඒ වෙලාවේදීම අපේ ගෙදර අය මාව දිරිමත් කළා ඔයාව දන්නෙවත් නැති මිනිස්සු ඔයාට කියන කුණුහරුප අහලා දේශපාලනය කරන එක නතර කරන්න එපා කියලා. දැන් මට එහෙම පසුබෑමක් ඇති වෙන්නේ නැහැ. මම දැන් මෙහෙ තත්වය අවබෝධ කරගෙන ඉන්න නිසා.”
| අභිෂේකා වාසල බණ්ඩාර
theleader.lk




