දැනට සියයට තිස් දෙකක් වන ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකා දායකත්වය අඩුවීමට නොදී වැඩි කර ගැනීමට කටයුතු කළ යුතු යැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා මාලදිවයින් අධ්‍යක්ෂිකා ජොනී සිම්ප්සන් ප්‍රකාශ කළාය.
නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමයේ 2025 කාන්තා සමුළුව ජා ඇල, දඩුගම රාමඩා හෝටලයේ ඉකුත්දා (16) පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අධ්‍යක්ෂිකාව මේ බව ප්‍රකාශ කළාය.
වෘත්තීය සමිති තුළ කාන්තා නායකත්වය – අභියෝග සහ අවස්ථා තේමා කොට ගනිමින් මෙවර සමුළුව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා මාලදිවයින් අධ්‍යක්ෂිකා ජොනී සිම්ප්සන්,
“ශ්‍රී ලංකාවේ ජාතික අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට ඇගළුම් ක්ෂේත්‍රයෙන් සිදුවන කාර්ය භාරය සුවිශාලයි. වසර 2022දී මෙරට ඇගළුම් අපනයන ආදායම බිලියන 5.6යි. ජාතික අපනයන ආදායමෙන් 48%ක් නියෝජනය කරන්නේ ඇගළුම් අංශයයි. ඇගළුම් අංශයේ සෘජු රැකියා ලක්ෂ තුන හමාරක් තිබෙනවා.
මෙම ක්ෂේත්‍රයේ කටයුතු කරන කාන්තාවන්ගේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, මානව අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය ඇති කරලීමට අප එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැරණිතම ආයතනයක් ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය කටයුතු කරනවා.”
”එදා සිට අද දක්වා කළ මෙහෙවර විශාලයි”

“අප වසර හතලිහකටත් වැඩි කාලයක් තිස්සේ කාන්තා ශ්‍රමයේ වටිනාකම සමාජයට තේරුම්කර දීමට අරගල කරනවා. එදා සිට අද දක්වා කළ මෙහෙවර විශාලයි. නමුත් අපට තවමත් එය හරියාකාරව දිනා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. එය මතු කාන්තා පරපුරේ අයිතිවාසිකම් සුරකෙන ලෙස දිනා ගැනීමට ඔබ ඉදිරිපත් වී තිබීම අගය කරනවා.”
නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමයේ සභාපතිනී ක්‍රිශාන්ති මංගලිකා, සහයෝගිතා මධ්‍යස්ථානයේ නීතිඥ ලිලන්ති කුමාරි, නීතිඥ මේනකා ලේකම්වසම්, වෘත්තීය සමිති නායක ඇන්ටන් මාර්කස් මෙහිදී අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමයේ සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.
(සටහන | ජේ. මුණසිංහ)