‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ගේ මව අභාවප්‍රාප්ත වෙයි

0
21

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ “Home Alone”, “Beetlejuice” සහ “Schitt’s Creek” වැනි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය හරහා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක හදවත් දිනාගත් සම්මානනීය රංගන ශිල්පිනී කැත‌රින් ඕ’හාරා (Catherine O’Hara) මියගොස් තිබෙනවා.

මියයන විට ඇය 71 වැනි වියෙහි පසුවුණා.

ඇය නියෝජනය කළ CAA ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව, ඇය ඊයේ (30) ලොස් ඇන්ජලීස් හි පිහිටි ඇයගේ නිවසේදී මියගොස් ඇත්තේ කෙටි කලක් රෝගාතුරව සිටීමෙන් පසුවයි.

කැනඩාවේ උපත ලැබූ ඇය සිය රංගන දිවිය ආරම්භ කළේ ‘Second City’ හාස්‍ය කණ්ඩායම හරහායි.

පසුව සිනමාවට පිවිසි ඇය සිනමා ඉතිහාසයේ අමතක නොවන මව් චරිත දෙකක් ජීවමාන කළා.

1988 වසරේ තිරගත වූ “Beetlejuice” චිත්‍රපටයේ ඩීලියා ඩීට්ස් (Delia Deetz) ලෙස අපූරු රංගනයක් ඉදිරිපත් කළ ඇය, 2024 වසරේ නිකුත් වූ එහි දෙවන කොටස වන “Beetlejuice Beetlejuice” හි ද එම චරිතයටම පණ පෙවුවා.

කෙසේ වෙතත්, ඇය වඩාත් කතාබහට ලක්වූයේ 1990 වසරේ තිරගත වූ “Home Alone” චිත්‍රපටයේ මැකෝලි කල්කින් (Macaulay Culkin)ගේ මව නොහොත් කෙවින්ගේ මව ලෙස කළ රංගනයෙන්.

මීට වසර දෙකකට පෙර මැකෝලි කල්කින්ට හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් (Walk of Fame) තරුව හිමි වූ අවස්ථාවට ද කැත‌රින් එක්වූවා.

එහිදී ඇය සඳහන් කළේ, “එක් වරක් නොව දෙවරක්ම ඔයාව ගෙදර තනියම දාලා ගිය ඔයාගේ බොරු අම්මාව මේ අවස්ථාවට එක් කරගත්තාට ස්තූතියි,” යනුවෙන්.

ඇයගේ වියෝව වෙනුවෙන් මැකෝලි කල්කින් සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් ලෙස “අම්මේ, මම හිතුවේ අපිට තව කාලය තියෙයි කියලා. මට ඕන වුණා ඔයාගේ ළඟින් වාඩි වෙලා තව හුඟක් දේවල් කතා කරන්න. මම ඔයාට ආදරෙයි,” ඔහු සඳහන් කර තිබුණා.

“Home Alone” චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස් කොලම්බස් ප්‍රකාශ කළේ ඇයගේ වියෝවෙන් තමන් දැඩි කම්පනයට පත් වූ බවයි.

“බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තමයි, එම චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් 50%ක්ම රඳා පැවතුණේ කැතරින් මත බව. ඇය නොමැතිව එම චිත්‍රපටය සාර්ථක නොවනු ඇති,” යැයි ඔහු සඳහන් කර තිබෙනවා.

මෑත කාලීනව ඇය “Schitt’s Creek” හි මොයිරා රෝස් (Moira Rose) ලෙස කළ රංගනය වෙනුවෙන් එමී සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here