ශ්‍රී ලංකාවේ කාලයක් තිස්සේ සංස්කෘතික ආගමික වටිනාකම් රැසක් සමඟ බැඳී පවතින සුන්දර සම්ප්රදායක් ලෙස මෙහෙන්දි හෙවත් මරතෝන්ඩි කලාව හැඳින්විය හැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික මුස්ලිම් සහ දමිළ තරුණියන් අතර මෙය වඩාත් ප්‍රචලිත වුවද, වර්තමානයේ එය ජාති ආගම් භේදයකින් තොරව බොහෝ දෙනා අතර එනම්, සිංහල හා ක්‍රිස්තියානි තරුණියන් අතර ද ජනප්‍රිය විලාසිතාවක් වී තිබේ.
මෙහෙන්දි ලොව පුරා විවිධ සංස්කෘතීන් තුළ වසර දහස් ගණනක සිට භාවිත වන ඉතා ජනප්‍රිය කලාවකි. විවිධ භාෂාවල මෙහෙන්දි සඳහා භාවිත වන නම් කිහිපයකි. හෙනා (Henna) යන නාමය අරාබි බසින් අල්-හින්නා (Al-Hinna) යන වචනයෙන් බිඳි ආවකි. බටහිර රටවල සහ මැදපෙරදිග රටවල මෙය බහුලව භාවිතවේ. මෙහෙන්දි (Mehndi) යන නාමය සංස්කෘතික භාෂාවේ එන මෙන්ධිකා (Mendhika) යන වචනයෙන් බිඳී ආවකි. ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල භාවිත වේ. මරුදානි (Marudhani) යනු දකුණු ඉන්දියාවේ එනම් දමිළ භාෂාවෙන් මෙහෙන්දි හඳුන්වන නාමයයි.

මෙහෙන්දි මෝස්තර රටා වර්තමානයේ ලාංකේය තරුණියන් අතර ඉතා ජනප්‍රිය කලාවක් වන අතර, මෙහෙන්දි යොදන්නේ විවාහ මංගල්‍යයන් ආගමික උත්සව, විශේෂයෙන් ඉස්ලාම් ජාතිකයන්ගේ ඊද් උත්සවය හා නව අවුරුදු උත්සව වැනි විශේෂ අවස්ථා සඳහාය.
මෙහෙන්දි කලාවේ පරිණාමය
මෙහෙන්දි කලාව වසර 5000 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති, මානව ශිෂ්ටාචාරය සමඟ සමීපව බැඳුණු අලංකරණ ශිල්පයකි. මෙය හුදෙක් සම මත අඳින චිත්‍රයක් පමණක් නොව, ආගමික, සංස්කෘතික සහ වෛද්‍ය විද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විත වූවකි. මෙහෙන්දි කලාවේ ආරම්භය පිළිබඳව විවිධ මත පවතින අතර, එය පුරාණ ඊජිප්තුව, මැදපෙරදිග සහ ඉන්දියාව යන කලාපයන්හි මුල් බැසගෙන තිබේ.
බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ මෙහෙන්දි කලාවේ මුල් බීජ පුරාණ ඊජිප්තුවෙන් ආරම්භ වූ බවයි. පාරාවෝ රජවරුන්ගේ යුගයේදී මමීවරුන්ගේ නියපොතු සහ ඇඟිලි තුඩු මෙහෙන්දි මඟින් වර්ණ ගන්වා තිබූ බවට පුරාවිද්‍යාත්මක සාධක හමුවී ඇත. එසේම, මළවුන් පරලොව යන ගමනේදී ඔවුන්ට ආරක්ෂාව සහ වාසනාව පතා මෙහෙන්දි ආලේප කළ බව පැවසේ.
ඉන්දියාවේ මෙහෙන්දි කලාව ප්‍රචලිත වූයේ ක්‍රි.ව 12 වන සියවසේදී මෝගල් අධිරාජයාගේ පැමිණීමත් සමඟ බව පොදු පිළිගැනීමයි. කෙසේ වෙතත්, ක්‍රි.ව 4 වන සහ 5 වන සියවස්වලට අයත් අජන්තා ලෙන් සිතුවම්වලද මෙහෙන්දි රටාවලට සමාන මෝස්තර දක්නට ලැබෙන බැවින්, ඊටත් පෙර සිටම ඉන්දියාවේ මෙම කලාව පැවති බවට තර්ක පවතී. ඉන්දියානු සංස්කෘතිය තුළ මෙහෙන්දි යනු වාසනාවේ සහ සෞභාග්‍යයේ සංකේතයකි.
මෙහෙන්දි කලාව ආරම්භයේදී හුදෙක් අලංකාරය සඳහාම භාවිත වූවක් නොවේ. කාන්තාර ප්‍රදේශවල ජීවත් වූ ජනයා ශරීරයේ අධික උෂ්ණත්වය පාලනය කරගැනීම සඳහා ස්වභාවික සිසිලනකාරකයක් ලෙස මෙහෙන්දි පල්පය අත්ලෙහි සහ පතුල්වල ආලේප කළහ. එම ආලේපනය ඉවත් කළ පසු ඉතිරි වූ රතු පැහැති පැල්ලම් රටාවන් ලෙස සකස් කිරීමෙන් මෙම සුන්දර කලාව බිහි විය.
වර්තමාන ශ්‍රී ලංකාවේ මෙහෙන්දි චාරිත්‍ර
හින්දු සහ ඉස්ලාමීය සංස්කෘතීන් තුළ මෙහෙන්දි සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන්ම මංගල උත්සවවලදී, මෙහෙන්දි උත්සවය (Mehndi Ceremony) නමින් වෙන්වූ දිනයක් වෙන් කරනු ලැබේ. මනාලියගේ අත්වල මෙහෙන්දි වර්ණය තදින් සිටින තරමට ඇයට තම ස්වාමියාගෙන් සහ නැන්දම්මාගෙන් ලැබෙන ආදරය වැඩි වන බවට විශ්වාසයක් පවතී. එසේම, මනාලියගේ මෙහෙන්දි රටා අතර මනාලයාගේ නම සැඟවීම වැනි රසවත් චාරිත්‍ර ද මෙයට එක්වී ඇත.

ශ්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතිය තුළ මෙහෙන්දි කලාවට හිමිවන්නේ ඉතා ඉහළ ස්ථානයකි. විශේෂයෙන් විවාහයට දිනකට පෙර මනාලියගේ නිවසේදී මෙහෙන්දි රාත්‍රිය යනුවෙන් උත්සවයක් පවත්වනු ලැබේ. මෙහිදී මනාලියගේ සමීපතම කාන්තාවන් හා යෙහෙළියන් එක්වී මනාලියට මෙහෙන්දි අඳින අතර ඔවුහු ද අත්වල මෙහෙන්දි ගල්වා ගනිති. ඉන්දියාවේ මෙන් නොව, ලංකාවේ මුස්ලිම් මනාලියන් බොහෝ විට සරල සහ පැහැදිලි අරාබි මෝස්තරවලට වැඩි කැමැත්තක් දක්වති. මෙහෙන්දි මඟින් මනාලියගේ අලුත් ජීවිතයට සෞභාග්‍ය සහ වාසනාව ලැබෙන බව ඔවුන් විශ්වාස කරයි.
ශ්‍රී ලාංකික හින්දු චාරිත්රවලදී ස්වභාවික මෙහෙන්දි කොළ අඹරා සාදා ගත් පල්පය අත්ල මැද රවුමකට සහ ඇඟිලි තුඩුවලට ආලේප කිරීම පැරණි සම්ප්රදායයි. මෙය හින්දු මංගල්‍යය උත්සවයක සුබ ලකුණක් ලෙස සැලකේ. හින්දු මනාලියෝ මල්, වැල් හා පේස්ලි රටා සහිත ඉතා සියුම් ඉන්දියානු මෝස්තර අත් සහ පාදවල සම්පූර්ණයෙන්ම අඳිනු ලබති.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිංහල මනාලියන් අතර ද මෙහෙන්දි කලාව ඉතා ජනප්‍රිය ය. ඒ අනූව ආගමික චාරිත්‍රයකට වඩා එය මනාලියගේ අලංකාරය වැඩි කරන කලාවක් ලෙස භාවිතා වේ. විශේෂයෙන්ම හෝම් කමිං උත්සවයේ දී රතු පැහැති ඇඳුමට ගැලපෙන ලෙස මෙහෙන්දි මෝස්තර අඳිනු ලැබේ. එසේම බොහෝ මනාලියන් විවාහයට පෙර පවත්වන ඡායාරූප සඳහා ද මෙහෙන්දි මෝස්තර යොදා ගනිති.
මෙහෙන්දි කලාවේ ප්රවණතා
මෙහෙන්දි කලාව වර්තමානයේ ගෝලීය විලාසිතා ලෝකයේ ප්‍රධාන අංගයක් බවට පත්ව ඇත. තාක්ෂණයේ දියුණුව සහ සමාජ මාධ්‍යවල බලපෑම නිසා මෙහෙන්දි කලාවේ නව ප්රවණතා රැසක් බිහි වී තිබේ.

අතීතයේදී කොළ අඹරා සාදාගත් පේස්ට් එකක් ලෙස පැවති මෙහෙන්දි, අද වන විට ඉතා දියුණු මට්ටමකට පත්ව ඇත. අතීතයේ පැවති සාම්ප්‍රදායික මල් සහ වැල් රටා වෙනුවට අද වන විට පෝට්රේට් (Portrait Mehndi) සහ නවීන ජ්‍යාමිතික මෝස්තර ජනප්‍රිය වී තිබේ. එසේම, දකුණු ආසියාවෙන් ඔබ්බට ගොස් බටහිර රටවල පවා Henna Tattoo ලෙස මෙය ඉතා ඉහළ පිළිගැනීමක් ලබා ඇත.
සංකීර්ණ රටා වෙනුවට ඉතා සරල සහ කුඩා මෝස්තරවලට වර්තමාන තරුණියෝ වැඩි කැමැත්තක් දක්වති. නිදසුනක් ලෙස, අත්ල හිස්ව තබා ඇඟිලිවලට පමණක් සීමා වූ මෝස්තර ඇඳීම හා අතේ පලඳින මුදු, වළලු හෝ චේන් එකක හැඩය ගන්නා මෙහෙන්දි රටා ඇඳීම දැක්විය හැකිය. නෙගටිව් ස්පේස් මෙහෙන්දි මෝස්තරවලදී සාමාන්‍ය මෙහෙන්දි මෝස්තර ක්‍රමයට වෙනස් ලෙස මෝස්තර ඇඳීම වෙනුවට මෝස්තරය වටා ඇති ප්‍රදේශය මෙහෙන්දිවලින් පුරවනු ලැබේ. එවිට මෝස්තරය සමේ ස්වභාවික පැහැයෙන් කැපී පෙනේ. මෙය රෝස් මෝස්තර සඳහා බහුලව භාවිතා වේ.
මෙහෙන්දි මෝස්තර මත විවිධ වර්ණවලින් දිලිසෙන කුඩු හෝ කුඩා දීප්තිමත් ගල් ඇලවීම (Glitter and Stone Mehndi) ද වර්තමාණයේ තවත් ප්රවණතාවයකි. මෙය සාද හා රාත්‍රී උත්සව සඳහා වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි. තමන් ප්‍රියකරන චිත්‍රපට ගීත, හෝ සංකේත පදනම් කරගෙන මෙහෙන්දි ඇඳීම මෙහි තවත් ප්රවණතාවකි. උදාහරණ ලෙස හැරී පෝටර් තේමාව හෝ සංචාරය කිරීමට ප්‍රිය කරන අය ලෝක සිතියම වැනි දෑ අත්වල ඇඳීමට පෙලඹී සිටිති.
මේ අනූව මෙහෙන්දි යනු හුදෙක් රූපලාවන්‍ය කලාවක් පමණක් නොව, මිනිසා සහ සොබාදහම අතර පවතින අවිච්ඡින්න සබඳතාවය විදහා දක්වන ඓතිහාසික උරුමයකි. එය යුගයෙන් යුගයට වෙනස් වෙමින් අනාගතයටද ගලා යනු ඇත යන්න සඳහන් කිරීම නිවැරදිය.
රටින් රට විවිධව…
මෙහෙන්දි මෝස්තරවල ඇති මූලික හැඩතල එනම්, වක්‍ර, තිත්, රේඛා හා මල් පෙති වැනි හැඩතල මෙහෙන්දි කේතුව නිසි පරිදි අල්ලා ගෙන, ඒකාකාරි ලෙස පීඩනය යොදමින් සිහින් සහ ඝන රේඛා තවත් කෙනෙකුගේ දෑතේ හෝ පාදයේ ඇඳීම සැබවින්ම දක්ෂතාවයකි. බොහෝ මෙහෙන්දි මෝස්තරවල සමමිතිය වැදගත් වේ. ඒ අනූව අත් දෙකේම හෝ එකම අතේ දෙපැත්තේ අඳිනු ලබන රටා සමාන විය යුතුය. මෙහෙන්දි මෝස්තරය දෑතේ, පාදයේ හෝ ශරීරයේ හැඩයට ගැළපෙන පරිදි සැලසුම් කළ යුතුය.
මෙහෙන්දි මෝස්තර රටා ප්‍රධාන වශයෙන් භූගෝලීය සහ සංස්කෘතික පසුබිම මත වර්ගීකරණය කළ හැකිය. එක් එක් රටාවට ආවේණික වූ හැඩතල, රේඛා සහ අර්ථයන් පවතී.
1. ඉන්දියානු සාම්ප්‍රදායික මෝස්තර (Indian Traditional Style)
මේවා ලොව වඩාත්ම සංකීර්ණ සහ සියුම් මෝස්තර ලෙස හැඳින්වේ. මෙහිදී අත්ල සහ මැණික් කටුව දක්වා කිසිදු හිස් තැනක් ඉතිරි නොවන පරිදි ඉතාමත් සියුම් රටා ඇඳීම සුවිශේෂී ලක්ෂණයකි. මයුර රූප (Peacocks), පියුම් මල් (Lotus), අඹ හැඩැති පේස්ලි (Paisley) සහ මිනිස් රූප මෙහි බහුලව දක්නට ලැබේ. මංගල මෙහෙන්දි රටා (Bridal Mehndi) තුළ මනාලියගේ සහ මනාලයාගේ රූප මෙන්ම මංගල බෙර, කලස් වැනි සංකේත ද ඇතුළත් වේ.\

2. අරාබි මෝස්තර (Arabic Style)
අරාබි රටා ඉන්දියානු මෝස්තරවලට හාත්පසින්ම වෙනස් ස්වභාවයක් ගනී. මෙය වඩාත් සරල සහ පැහැදිලි රේඛා සහිත මෝස්තර රටාවකි. ප්‍රධාන වශයෙන් විශාල මල් සහ වැල් රටා අඩංගු වන අතර, අත පුරාම මෝස්තර දැමීම වෙනුවට යම් නිශ්චිත රටාවකට (උදාහරණයක් ලෙස දබරැඟිල්ලේ සිට මැණික් කටුව දක්වා හරහට යන වැලක් ලෙස) අඳිනු ලබයි. මෙම රටාවල “හිස් අවකාශය” නිසා මෝස්තරය වඩාත් කැපී පෙනේ.
3. මොරොක්කෝ සහ ජ්‍යාමිතික මෝස්තර (Moroccan Style)
උතුරු අප්‍රිකානු කලාපයට ආවේණික මෙම මෝස්තර රටාව වඩාත් ගෝත්‍රික පෙනුමක් ලබා දෙයි. මෙහි මල් හෝ වැල් වෙනුවට රේඛා, ත්‍රිකෝණ, චතුරස්‍ර සහ තිත් වැනි ජ්‍යාමිතික හැඩතල (Geometric shapes) බහුලව භාවිත වේ. පිළිවෙළට සහ සමමිතිකව අඳින මෙම රටා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ගැළපෙන පරිදි නිර්මාණය කර ඇත.
4. නෙගටිව් ස්පේස් මෝස්තර (Negative Space / Reverse Mehndi)
වර්තමානයේ ඉතා ජනප්‍රිය මෙම ක්‍රමවේදයේදී සිදු කරන්නේ මෝස්තරය ඇඳීම වෙනුවට මෝස්තරය වටා ඇති ප්‍රදේශය මෙහෙන්දිවලින් පුරවා වර්ණ ගැන්වීමයි. උදාහරණයක් ලෙස, විශාල රෝස මලක හැඩය සමේ පැහැයෙන්ම ඉතිරි කර එය වටා ඇති ප්‍රදේශය මෙහෙන්දි පේස්ට් එකෙන් පුරවනු ලැබේ. මෙය ඉතාමත් නවීන සහ රාජකීය පෙනුමක් ලබා දෙන අතර බොහෝ විට අරාබි රටා සමඟ මුසු කර භාවිත කරයි.

5. මණ්ඩල මෝස්තර (Mandala Designs)
මණ්ඩල යනු අත්ල මධ්‍යයේ රවුමක හැඩයට අඳින මෝස්තරයකි. මෙහි මැද සිට ආරම්භ වී පිටතට විහිදී යන විවිධ සියුම් රටා අඩංගු වේ. බෞද්ධ සහ හින්දු සංස්කෘතීන් තුළ ආධ්‍යාත්මික සංකේතයක් ලෙස ද සැලකෙන මණ්ඩල රටාව, ඉතා පිරිසිදු සහ මනාව සංවිධානය වූ පෙනුමක් අතට ලබා දෙයි.
6. නූතන ෆියුෂන් රටා (Fusion Styles)
වර්තමාන රූපලාවන්‍ය ලෝකයේ ඉහත සඳහන් කළ සියලුම රටා මිශ්‍ර කරමින් නිර්මාණය කළ “Indo-Arabic” වැනි නව මාදිලියේ මෝස්තර බහුලව භාවිත වේ. එසේම ඇඟිලිවලට පමණක් සීමා වූ (Finger Mehndi) සහ වළලු වැනි ආභරණවල හැඩය ගන්නා (Jewelry Mehndi) රටා ද තරුණියන් අතර අතිශය ජනප්‍රියය.
ඖෂධීය වටිනාකම
මෙහෙන්දි, පුරාණ කාලයේ සිටම විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිත වූ ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයකි. මෙහෙන්දි සතු වඩාත්ම ප්‍රසිද්ධ ගුණය වන්නේ ශරීරය සිසිල් කිරීමේ හැකියාවයි. ශරීරයේ අධික උෂ්ණත්වය අඩු කරයි. මෙය ස්නායු පද්ධතිය සැහැල්ලු කර මානසික ආතතිය සහ හිසරදය සමනය කිරීමට උදවු වේ. මනාලියන්ට මෙහෙන්දි ගැල්වීමේ ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ගේ චකිතය සහ පීඩනය අවම කිරීමයි.මෙහෙන්දි පත්‍රවල දිලීර නාශක (Anti-fungal) සහ බැක්ටීරියා නාශක (Anti-bacterial) ගුණ අඩංගු වේ. ඒ අනූව නියපොතුවල ඇතිවන දිලීර ආසාදන සහ ඇඟිලි කරුවල ඇතිවන තුවාල (Athletes’ foot) සුව කිරීමට මෙහෙන්දි පල්පය ඉතා ගුණදායකය. සමේ ඇතිවන සුළු සීරීම් සහ තුවාල සඳහා ආරක්ෂිත ආලේපනයක් ලෙස මෙය ක්‍රියා කරන අතර, ආසාදන ඇතිවීම වළක්වයි.

මෙහෙන්දි ලොව පුරා ප්‍රචලිත ස්වාභාවික හිසකෙස් සත්කාරයකි. හිස්කබලේ ඇතිවන අධික වියළි බව සහ හිස්හොරි නැති කිරීමට මෙහෙන්දි සතු ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය උපකාරී වේ. හිසකෙස් වල මුල් ශක්තිමත් කර ගැලවී යාම පාලනය කරයි. ස්වභාවිකව වර්ණයක් ලබා දෙන අතරම හිසකෙස්වලට දීප්තියක් එක් කරයි.ආයුර්වේදයට අනුව, මෙහෙන්දි තෙල් හෝ පල්පය හන්දිපත් රුදාව පවතින ස්ථානවල ආලේප කිරීමෙන් වේදනාව සහ ඉදිමීම අඩු කරගත හැකිය. මෙය ආතරයිටිස් (Arthritis) රෝගීන්ට යම් සහනයක් ලබා දෙයි.
මෙහෙන්දිවල සෞඛ්‍ය ප්රතිලාභ ලැබෙන්නේ ස්වභාවි මෙහෙන්දි පත්‍ර භාවිත කිරීමෙන් පමණි. වෙළඳපොළේ ඇති “ක්ෂණික මෙහෙන්දි” (Instant/Black Mehndi) වල බොහෝ විට PPD (Paraphenylenediamine) නැමැති විෂ සහිත රසායනිකය අඩංගු වේ. මෙය සමට අහිතකර ය.
ඔබ මෙහෙන්දි භාවිත කරන්නේ නම්, එය 100% ස්වභාවික පත්‍රවලින් සාදා ගත්තක් බව තහවුරු කරගන්න. විශේෂයෙන් කුඩා දරුවන්ට සහ සංවේදී සමක් ඇති අයට රසායනික මෙහෙන්දි භාවිතයෙන් වළකින්න.
මෙහෙන්දි මෝස්තර තරගයෙන් ලංකාවටත් ලෝක වාර්තාවක්
මෙහෙන්දි රටා සම්බන්ධයෙන් ද, මෙහෙන්දි ශිල්පීන්ගේ නිර්මාණශීලිත්වය හා දක්ෂතාවය විදහා දක්වන තරග වැඩසටහන් ලෝකයේ ඇත. මෙම වැඩසටහන්වලින් මෙහෙන්දි කලාවට නව ජීවයක් ලබා දෙන අතර, ශිල්පීන්ට ජාතික හා අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම තරගවල විවිධ තේමා යටතේ මෙහෙන්දි රටා ඇඳීමට සිදුවේ. එසේම මෙහෙන්දි රටා ඇඳීමේ වේගය ද උරගා බැලේ.

2025 වසරේ පෙබරවාරි මාසයේ මෙහෙන්දි සම්බන්ධයෙන් Cholan Book Of International World Record තරගය කොළඹ දී පවත්වන ලදි. එම තරගයට වයස අවුරුදු 14 ක ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියක්ව වන ෆාතිමා මයිෂා සහභාගි වූවාය. ඇයට හිමි වූ අභියෝගය විනිශ්චය මණ්ඩලය ලබා දෙන මෙහෙන්දි මෝස්තරය විනාඩි 15 කින් ඇද අවසන් කිරීමය. ෆාතිමා මයිෂා විසින් එම මෝස්තරය විනාඩි 14ක් ඇතුළත ඇඳ සම්පූර්ණ කර, තරගකරුවන් 50 දෙනෙකු අතරින් ජයග්‍රහණය කළාය.
ෆාතිමා මයිෂා දියණිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක වාර්තාවක් තබනු ලැබුවාය. වාණිජකරණය වී ඇති සමාජයේ මෙහෙන්දි කලාව සඳහාද සේවාදායිකාවන් සිටිති. විවාහ මංගල්‍යයන්, මෙහෙන්දි උත්සව, ආගමික උත්සව, සංස්කෘතික උත්සව හා විලාසිතාවක් ලෙසින් මෙහෙන්දි මෝස්තර ඇඳ ගැනීම සඳහා මෙහෙන්දි කලාකරුවන්ගේ සේවය ලබා ගනිති. මෙම තත්වය අදවන විට ශ්‍රී ලංකාවේද ප්‍රවණතාවක් ලෙස පවති.




