‘නැති බැරි’ දරුවන්ගේ තටු ගැළවීමට මං පාදන යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය | ආචාර්ය රසිකා කුමාරසිංහ

    0
    83

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නැවත වරක් දැඩි සංවාදයකට ලක්ව ඇත. අද එම සංවාදය යොමුවී ඇත්තේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇති ගැටලු සහගත තැන් වලටය.

    නමුත් අවධානය ඇත්තවශයෙන්ම යොමුවිය යුත්තේ සම්පූරණ යෝජිත ප්‍රතිසංස්කරණ වලටය. මක්නිසාද යත් මෙම යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුවහොත්, මේතාක් දුරට ප්‍රශ්ණ හැලහැප්පීම් මධ්‍යයේ රැකගෙන ආ ලංකාවේ අධ්‍යාපනය නැත්තටම නැතිවී යන බැවිනි.

    යෝජිත ප්‍රතිසංස්කරණ වලට පිරිස ආකර්ෂණය කර ගැනීමට යොදා ගන්නා කැරට් අලය නම් “විභාග මධ්‍යස්ථ අධ්‍යාපනයෙන් ඉවත් වෙමින්, දක්ෂතා මධ්‍යස්ථ අධ්‍යාපනයක්” හඳුන්වා දීමට දෙන පොරොන්දුවයි. රජය යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය හා සමාජ ව්‍යුහය තේරුම් ගත හැකි උගත් බුද්ධිමත් මිනිසුන් තුළ බිය, සැක සහ විරුද්ධත්වය පවතින්නේද මෙම කොටසටයි.

    මෙය ඇත්තටම ලංකාවට අවශ්‍ය ප්‍රගතියක්ද? නැත්නම් විශ්වාස කළ නොහැකි දූෂිත පද්ධතියක් තුළ දරුවන්ගේ අනාගතය උකසට තබා සිදුකරන භයානක පරීක්ෂණයක්ද?

    සමාජයේ මීට පක්ෂව හා විපක්ෂව කතා කරන බොහෝ දෙනා යෝජිත ප්‍රතිසංස්කරණයේ මූලික පදනමවත් නොදනී.

    යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පදනම් කරගන්නේ ප්‍රධාන කණු පහක් (5 pillars) මතය.

    1. විෂය මාලා සංස්කරණය –

    මතකය මත පදනම් වූ විෂය මාලාව වෙනුවට STEM අධ්‍යාපනයට (Science, Technology, Engineering and Mathematics), ICT, ජීවන කුසලතා, විචාරාත්මක චින්තනය ඇතුළත් නව විෂය මාලාවක්. (ICT යනු සාම්ප්‍රදායික පරිගණක පාදක තාක්‍ෂණයන්ට (ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක වැනි) වඩා වැඩි යමක් වන අතර එය තොරතුරු සහ සන්නිවේදනය භාවිතා කරන සහ බෙදාහදා ගන්නා ආකාරය පිළිබඳව ද වේ. බොහෝ සන්දර්භයන්හිදී, තනි කේබල් හෝ සම්බන්ධක පද්ධතියක් හරහා පරිගණක ජාල සමඟ ශ්‍රව්‍ය දෘශ්‍ය සහ දුරකථන ජාල අභිසාරී වීම හැඳින්වීමට ICT භාවිතා වේ).

    2. මානව සම්පත් සංවර්ධනය – 

    ගුරුවරුන් සහ අධ්‍යාපන පරිපාලනය නව ක්‍රමයට පුහුණු කිරීම.

    3. යටිතල පහසුකම් හා පරිපාලන සංස්කරණ – 

    පාසල්, ඩිජිටල් පහසුකම්, පරිපාලන ව්‍යුහ නවීකරණය.

    4. අගයනය හා තක්සේරු සංස්කරණය – 

    එකම විභාගයක් මත ජීවිතය තීරණය කරන ක්‍රමයෙන් ඉවත් වීම.

    5. මහජන අවබෝධතාව – 

    දෙමාපියන්, ගුරුවරුන්, සමාජය සමඟ සංවාදයක්.

    න්‍යායක් ලෙස ගත් කල, මෙය නවීන, ගෝලීය ප්‍රවණතා සමඟ ගැලපෙන යෝජනාවක් ලෙස පෙනේ. නමුත් ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ යථාර්ථයට මෙය ගැළපේද යන්නය.

    ලංකාවේ අධ්‍යාපනයේ දැනට ඇති විශාලම අර්භුධය පාසල් අධ්‍යාපනය නොවේ. අර්භුධය ඇත්තේ පාසල් හැර යන්නන්ටය. ලංකාවේ වසරකට දරුවන් 450,000 ක් පළවෙනි වසරට ඇතුලත් කෙරේ. ඉන් 350,000 ක් පමණ උසස් පෙළ විභාගය සදහා පෙනී සිටියි. රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුල් වීමට වරම් ලබන්නේ ඉන් 40,000 කට පමණි. එනම් 10% පමණි. ඒ අපක්ෂපාතී ජාතික විභාගයක් සහ දිස්ත්‍රීක් පදනම මත නගර සහ ගම් අතර පවතින සම්පත් පරතරය සැළකිල්ලට ගෙන කරනු ලබන ක්‍රියාපටිපාටියක් හරහාය. ඉතිරිවන 90% දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය අහිමි වන්නේ, එම දරුවන් විශ්ව විද්‍යාල වලට සුදුසුකම් නොලබන නිසා නොවේ. ඒ රජයේ විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගැන්වීමට හැක්කේ සීමිත ප්‍රමාණයට පමණක් වීම නිසාය. ධණවත් දෙමාපියන්ගේ දරුවන් මුදල් ගෙවා දේශීය සහ විදේශීය අධ්‍යාපනය ලබා ගන්නා අතර, නැති බැරි දෙමාපියන්ගේ දරුවන්ට විකල්පයක් නැත. ඔවුන්ට ඇති එකම මග උසස් පෙළ විභාගය පමණි.

    නව ක්‍රමය යටතේ සිදුවන විශාලම ඛේදවාචකය වන්නේ, මේ අපක්ෂපාතී විශ්ව විද්‍යාල ප්‍රවේශ යාන්ත්‍ර්ණය බිද වැටීමයි.

    නව ක්‍රමය යටතේ විශ්වවිද්‍යාල ප්‍රවේශය එකම A/L – Z score පදනමෙන් ඉවත් වෙමින්,

    • විභාග,

    • දක්ෂතා පරීක්ෂණ,

    • පාසල් මට්ටමේ ඇගයීම්

    • තාක්ෂණික හා වෘත්තීය මාර්ග
එකට එකතු කළ බහු-මාර්ග (multiple pathways) ක්‍රමයකට මාරු කිරීමට යෝජනා කර ඇත.

    ඉතා නවීන අදහසක් වුවද, මෙයම විශාලතම අක්‍රමිකතා ඇති කරන සංධිස්ථානයක් වේ.

    අප මෙයට විරුද්ධ වීම “අධ්‍යාපන ප්‍රගතියට හෝ ප්‍රතිසංස්නරණ වලට විරුද්ධ වීමක්” නොව, පද්ධතිය කෙරෙහි විශ්වාසය නොමැතිකමක් ලෙස තේරුම් ගත යුතුය.

    1. දුප්පත් ළමයාගේ විශ්ව විද්‍යාල සදහා ඇති එකම අපක්ෂපාතී සාධාරණ දොරටුව

    උසස් පෙළ විභාගය දුප්පත්, ගම්වල ළමයින්ට තිබූ අඩුම දූෂණය සහිත අවස්ථාව ලෙස ලාංකීය සමාජය පිළිගනී.
සම්මුඛ පරීක්ෂණ, පාසල් සහ ගුරුවරුන් විසින් සිදු කරන පැවරුම් ලකුණු ක්‍රම යන දේවල් පක්ෂපාතී දූෂිත ක්‍රමවේදයන්ට මග සළසයි. පාසල් පද්ධතිය තුල පාසලට ළමුන් ඇතුලත් කිරීමේ සිට පන්ති නායකයා, ශිෂ්‍ය නායක පට්ටං, ක්‍රීඩා ඇතුලු සියල්ලේදීම පගා ගැනීම්, සුදුස්සාට සුදුසු තැන නොලැබීම, ගුරුවරුන්ට “සළකන” දෙමාපියන්ගේ දරුවන්ට “වැඩි සැළකිළි” ලැබීම සහ වැඩි අවස්ථා ලැබීම වැනි දේවල් දිනපතා අප පාසල් පද්ධතිය තුල අප දිනපතා අත් විදියි. විශ්ව විද්‍යාල ප්‍රවේශ ලකුණු දීමේ බහුතර බලය පාසල් සහ ගුරුවරුන් අතට පත් කිරීම දරුවන්ට කෙසේ වෙතත් දූෂිත ගුරුවරුන්ට සහ දේශපාලකයන්ට වසන්තය උදා වීමකි.

    2. ග්‍රාමීය – නාගරික පරතරය (Rural–Urban gap)

    ලංකාව යනු අනෙක් දකුණු ආසියාතික කළාපයේ රටවල් වාගේම ග්‍රාමීය–නාගරික පරතරය වැඩි රටකි. නගරයේ පාසල් වල ඇති පහසුකම්, සම්පත්, ගුරුවරු සහ ආකල්ප ග්‍රාමීය පාසල් වලට නැත. STEM සහ ICT අධ්‍යාපනය නගර පාසල්වලට වාසිදායකය. මෙම පරතරය නිවැරදි නොකර අධ්‍යාපන පද්ධතිය වෙනස් කිරීම තුලින් අසාධාරණයට ලක් වන්නේ ගම් වල දරුවන්ය. පාසල් 10,000 ක පමණ සම්පත් එකම මට්ටමකට ගෙන එ්මට ලංකාවට හැකියාවක් නොමැත.

    3. ගුරුවරුන්ගේ ආකල්ප සහ වැඩ කිරීමේ ධාරිතාව

    ලංකාවේ ගුරු වෘත්තිය ඉතාමත් ගෞරවාන්විත වෘත්තියක්ව තිබිනි. එහෙත් පහු ගිය දශක තුන ඇතුලත දේශපාළණීකරණය තුලින් සහ සමහර ගුරුවරුන්ගේ ක්‍රියාකළාපයන් නිසා ගුරුවරුන් කෙරෙහි කළින් පැවති විශ්වාසය හා ගෞරවය සමාජයෙන් තරමක් දුරට ගිළිහී ඇත. අනෙක් කාරණය නම් ගුරුවරුන්ගේ සුදුසුකම්, ධාරිතාවය හා ආකල්ප සමාන මට්ටමක නැත. එහෙව් පරිසරයක, විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි දරුවන්ගේ අනාගතය තීරණය කරන කඩයිමක තීරණය ගැනීමේදී පාසල් ගුරුවරුන් සෑම අවස්ථාවකම සාධාරණ, අදූෂිත සහ අපක්ෂපාතී තීරණ ගනීවි යැයි සපත කල හැකිද?

    අධ්‍යාපන ප්‍රකිසංස්කරණ ගෙන ඒමට පෙර ලෝක අත්දැකීම් විශ්ලේෂණය කල යුතුය. විශේෂයෙන්ම එම රට වල එය සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට හේතු සළකා බැලිය යුතුය.

    යෝජිත අධ්‍යාපන ව්‍යුහය සාර්ථකව සිදුකල රටක් ලෙස ෆින්ලන්තය ඉදිරියෙන්ම සිටියි.

    ෆින්ලන්තයේ අධ්‍යාපන පද්ධතිය තුල දරුවන්ට විභාග පීඩනය අඩුය. අඛණ්ඩ තක්සේරුව ක්‍රමය, ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනීම ඇති අතර ද්විතීයික අධ්‍යාපනය අවසන් වන තුරු ජාතික විභාගයක් නොමැත.

    මෙහි සාර්ථකත්වයට හේතු වන්නේ;

    1 ඉතා විශ්වාසවන්ත සහ සුදුසුකම් සහිත ගුරුවරුන් සිටීම

    ෆින්ලන්තයේ සියලුම ගුරුවරුන්ට අඩුම වශයෙන් ශ්‍රාස්ථපති හෝ විද්‍යාපති උපාධියක් ඇත. ෆින්ලන්තය පුරාම ගුරුවරුන්ගේ දැනුම් මට්ටම මහ ඉගැන්වීමේ විශමතාවයක් නැත. ගුරුවරුන්හට අඛණ්ඩ අධ්‍යාපන පාඨමාලා ඔස්සේ යාවත්කාළීන දැනුම සහ පුහුණුව ලබාදීමට ශක්තිමත් යාන්ත්‍රණයක් ඇත.

    2 දූෂණය

    ගුරුවරුන්ගේ වෘත්තියේ වැඩ ධාරිතවට සරිලන වැටුපක් සහිත තෘප්තිමත් වෘත්තියකි. එම නිසා ත්‍යාග පඩුරු පාක්කුඩම් හෝ පගා ගැනීමේ අවශ්‍යතාවයක් ගුරුවරුන්ට නැත.  දේශපාලන ඇඟිලි ගැසීම් සහ බලපෑම් නොමැති වීම නිසා අධ්‍යාපන ක්ශේස්ත්‍රය ස්වාධීනය. එබැවින් පාසල් මට්ටමේ සම්මුඛ පරීක්ෂණ සහ ඇගයීම් කෙරෙහි විශ්වාසනීයභාවයක් ඇත.

    3 අවම ග්‍රාමීය-නාගරික පරතරය

    ෆින්ලන්තය ආර්ථිකය අතින් ඉතා දියුණු රටකි. ඇති-නැති පරතරය නැතුවා වාගේම ග්‍රාමීය හා නාගරික පාසල් අතර පහසුකම්වල හෝ සම්පත් පරතරයක් නැත. සෑම දරුවෙකුටම අවස්ථා සහ සම්පත් සමානව ලැබේ.

    4 දිගු කාළීන මන්දගාමී ප්‍රතිසංස්කරණ

    ෆින්ලන්තයේ මෙම වෙනස්කම් සිදුකලේ වසර 20 කටත් වඩා විහිදෙන පරිදි ක්‍රමානුකූලවය. වසරක් තුල තිබුන පද්ධතිය සම්පූරණයෙන් කනපිට හරවා නොවේ.

    සින්ගප්පූරුවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කල රටකි. එහි ශක්තිමත් විභාග තවමත් පවතියද බහු මාර්ග (අධ්‍යයන / තාක්ෂණික / ව්‍යවහාරික) පද්ධතියක් ඔස්සේ දරුවන් තෝරා ගැනීම කරනු ලබයි. ශක්තිමත් රාජ්‍ය ධාරිතාවක් ඇති සිංගප්පූරුවේ ගුරුවරුන් හොඳින් පුහුණු කිරීමට ක්‍රමවේදයක් ඇත. සෑම පාසලකටම යටිතල පහසුකම් සමානය.

    මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරුව භාවිතා කරන්නේ තද නීති රීති සහ දඩුවම්ය. පැහැදිළි විනිවිදභාවයෙන් යුතු නීති පද්ධතියක් හරහා දූෂිතයන් සහ අපයෝජකයන් හට උපරිම දඩුවම් ලබා දෙයි.

    ඉංදියාව, කෙන්යාව හා දකුණු අප්‍රිකාව ෆින්ලන්තයේ වැනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට උත්සහ කොට අසාර්ථක වූ රටවල්ය. ඊට හේතූන් වී ඇත්තේ

    සම්පත් සහ පහසුකම් අසමානතාවය, ග්‍රාමීය පාසල්වල සම්පත් නොමැත

    පුහුණු ගුරුවරුන්ගේ හිගය

    පාසල් තුල වංචනික සහ ව්‍යාජ තක්සේරු කිරීම

    දේශපාලන මැදිහත්වීම්

    රජයන් වලට ප්‍රමාණවත් අධීක්ෂණයන් සදහා අවශ්‍ය ප්‍රතිපාදන නෙමැති වීම

    දරුවන්ගේ, දෙමාපියන්ගේ සහ සමාජයේ මෙම ක්‍රියාවලිය සදහා විශ්වාසයක් නොමැති වීම
     

    මේ උදාහරණ සහ ලෝකයේ අනෙකුත් රටවල් දෙස බලන කල, විභාග අවම අධ්‍යාපන සංස්කෘතියක් ඇති කිරීමට එම රට ආර්ථිකව ඉතාම ශක්ති සම්පන්න විය යුතුය. දියුණු රටවල කුමන ක්‍රියාපටිපටිය තුල ගියත්, අවසානයේ දරුවාට උසස් අධ්‍යාපනය හෝ කුසලතා සංවර්ධණය තුලින් වෘත්තියක් කරා දරුවා/පුරවැසියා ගෙන යාමට තරම් හැකියාවක් රජයට ඇති. එ් සෑම වෘත්තියකම නිරත වෙන පුද්ගලයන්ගේ ජීවන තත්වයන් සමානය. පාසල් තුල තරගය අඩු වීමට, වංචාව, දූෂණය නැති වීමට ප්‍රධාණ හේතුව එයයි.  තවද එම රටවල නීති පද්ධතිය තුලින් වංචා, දූෂණ හා අපහරණට කරන්නන්හට දැඩි දඩුවම් ලබා දෙයි.

    ලංකාව සමාන වන්නේ ඉංදියාවට, කෙන්යාවට හා දකුණු අප්‍රිකාවට මිස ෆින්ලන්තයට, සිංගප්පූරුවට හෝ කැනඩාවට නොවේ.

    එසේ නම් ශ්‍රී ලංකාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකැප ද?

    උත්තරය නම් ශ්‍රී ලංකාවට ෆින්ලන්තයේ හෝ සිංගප්පූරුවේ ක්‍රමය සම්පූරණයෙන් කොපි කිරීම කල නොහැකි බවයි. ඉතා ප්‍රායෝගික විසඳුම වන්නේ “සිංගප්පූරු + බ්‍රිතාන්‍ය + ශ්‍රී ලංකා” හයිබ්‍රිඩ් මොඩලයක් ලංකාවට නිර්මාණය කිරීමයි.

    සැකෙවින් ගත් කල, මා යෝජනා කරන හයිබ්‍රිඩ් මොඩලයේ එක වසරේ සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය මෙසේ විය යුතුය.

    • වසර 1–5: විභාග නොමැති සාක්ෂරතාවය, ගණිතය, STEM හදුන්වාදීම, විනය අැති කිරීම

    • වසර 6–9: මූලික විෂයයන් + ගවේෂණාත්මක කුසලතා, දරුවන් තේරීමට නොව දැනුම් මට්ටම මැනීමට හා පාසල් වල ප්‍රගතිය මැනීමට ජාතික විභාගයක් පැවැත්වීම

    • වසර 10–11 ශ්‍රේණිය: ප්‍රතිසංස්කරණය කරන ලද සාමාන්‍ය පෙළ – සාධාරණ ජාතික වර්ග කිරීමේ විභාගය.

    • 12–13 ශ්‍රේණිය: විශ්ව විද්‍යාල ප්‍රවේශ දොරටුව

    අධ්‍යයන විෂය ධාරාව:

    උසස් පෙළ විභාගය – 70%
    යෝග්‍යතා පරීක්ෂණය – 15%
    මධ්‍යස්ථ පාසල් අැගයීම් – 15%

    මීට අමතරව විශ්ව විද්‍යාල මාර්ග සහිත තාක්ෂණික සහ වෘත්තීය විෂය ධාරාවන් ඇති කිරීම කල යුතුය. විශ්ව විද්‍යාල තුල නව ලෝකයට, රැකියා වෙළදපොළට  ගැළපෙන පරිදි නව පාඨමාලා ඇති කල යුතුය. නව විශ්ව විද්‍යාල (රජයේ හෝ පෞද්ගලික) ඇති කල යුතුය. සැමට නිදහසේ ඉගෙනීමේ අයිතිය ලැබෙන්නේ එවිටයි.

    යතාර්ථය නම් ශ්‍රී ලංකාවේ අංගසම්පූරණ අධ්‍යාපන පද්ධතියක් එක රැයකින් ස්ථාපිත කල නොහැක. අපට අවශ්‍යවන්නේ විශ්වාස කළ හැකි, දූෂණයෙන් තොර, අද ලෝකයට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයි. ඒ වාගේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සදාචාරය හා හර පද්ධතිය රැකගෙන රට ඉදිරියට ගෙන යා හැකි පරපුරක් බිහිකිරීමට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයි.

    ප්‍රතිසංස්කරණය සාර්ථක වීමට නම්,

    • විනිවිදභාවයෙන් යුතු කතිකාවතක් සමාජයේ ඇති විය යුතුය.

    • සෑම දරුවෙකුටම/පුරවැසියෙකුටම සමාන අවශ්‍යතා ලබා දීමට රජයට හැකියාවක්, ආර්ථික ස්ථාවරයක් තිබිය යුතුය

    • විෂය මාලා සංස්කරණය පෞද්ගලික අවශ්‍යතාවයන්ට නොව රටේ හා රටේ අනාගතයට ගැළපෙන පරිදි විය යුතුය

    අධ්‍යාපනය විභාගයෙන් එහාට යා යුතුමය, නමුත් විභාගය අත්හැරීමට පෙර පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය ගොඩනගා ගත යුතුය. විශ්වාසය නැති, දිගු කාළීණ දැක්මක් නැති, රටට නොගැළපෙන කරන්නන්වාලේ කරන අදූරදර්ශී ප්‍රතිසංස්කරණ තුළින් ලංකාවේ අධ්‍යාපනය කඩා වැටීම නෙවැළක්විය හැක.

    (සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)

    ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
    මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය

    [email protected]

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here