දශක හතරකට වැඩි කලක් වැඩකරන ස්ත්‍රීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් කැපවූ සමන්මලී හෙට්ටිආරච්චි
සහෝදරිය ඉකුත් නොවැම්බර් 12 වැනිදා සිය දිවිසරිය නිමා කළාය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් මෙරටට නිදහස ලබා දීමෙන් දොළොස් දිනකට අනතුරුව උපන් ඇය ඩාබිඳු සාමුහිකයේ ආරම්භක ක්‍රියාකාරිනිය මෙන්ම එහි ජීවනාලිය ද වුවාය

.පී.කේ. සෝමපාල නම් වූ වෘත්තීය සමිති හා දේශපාලන ක්‍රියාධරයාගේ සෙනෙහෙවන්ත බිරිඳ මෙන්ම දරුවන් සිව්දෙනෙකුගේ ද මව වීම ඇගේ සමාජ දේශපාලනය දිවියට බාධාවක් නොවිය. ඒ සියල්ල කළමනාකරණය කරගනිමින් නිදහස් වෙළඳ කලාප හා කාර්මික පුර කම්කරුවන්ගේ විශේෂයෙන් ස්ත්‍රීන්ගේ අරගල වල දී ඉදිරියෙන්ම සිටියාය. පසු කාලීනව ඇය විසින් නායකත්වය දුන් ඩාබිදු සාමුහිකය බිහිවන්නට පාදක වූ දේශපාලන හා කම්කරු සටන් ඉතිහාසයක් දක්නට හැකිය. සමන්මලී සහෝදරියට ගෞරවයක් ලෙසින් එම යටගියාව පිරික්සීම අගනේය.
කීර්තිමත් කම්කරු නායකයෙකු වූ බාලා තම්පෝ සහෝදරයාගේ නායකත්වයෙන් වූ ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමයේ ජා-ඇළ ඒකල කාර්මික පුරයේ සංවිධායකයෙකු ලෙස ඇගේ ආදරණිය ස්වාමිපුරුෂයා වූ සෝමපාල සහෝදරයා ක්‍රියා කළේ කටුනායක නිදහස් වෙළඳ කලාපය ඇරඹීමටත් මත්තෙනි. ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමයට සමගාමිව තම්පෝ සහෝදරයාගේ නායකත්වයෙන් වූ විප්ලවකාරී මාක්ස්වාදී පක්ෂය ද ක්‍රියාකාරීවිය. 1970 මැද කාලයේ සිට 1980 අග දක්වා ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමය හා විප්ලවකාරී මාක්ස්වාදී පක්‍ෂය කම්කරු සටන් හා දේශපාලන අරගලයන්හි පෙරමුණේ විය. 1977 මහ මැතිවරණයට කැළණිය, දෙහිවල,කැස්බෑව හා උතුරු කොළඹ ආසන සඳහා අපේක්ෂයන් සිව් දෙනෙකු තරඟ කළේ වෘත්තීය සමිතියෙන් දෙදෙනෙක් හා දේශපාලන පක්ෂයෙන් දෙදෙනෙක් වශයෙනි.
පක්‍ෂය හා වෘත්තීය සමිතිය අතර ගැටුම

ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමය ලෙස 1980 ජුලි සමස්ත මහා වැඩවර්ජනයට එක් නොවන්නට බාලා තම්පෝ සහෝදරයා තීරණය කළේ ශක්තිමත්ව පැවති යු.එන්.පී. ආණ්ඩුවට අභියෝග කරන්නට හදිසි නොවිය යුතු යන අදහසිනි. එහෙත් මෙම තීරණයට එරෙහිව වෘත්තීය සමිතියේ ඇතැම් සාමාජිකයන් එරෙහි විය. 1981 මාර්තුවේ පැවති විශේෂ සම්මේලනයෙදී බහුතරයගේ තීරණය වුයේ 80 ජුලි වර්ජනයට සහාය නොදීමට ගත් ස්ථාවරය වැරදි බවය. ඊට පසු පැවැත්වූ විප්ලවකාරී මාක්ස්වාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහභාගී නොවන බවට තම්පෝ පාර්ශවය විසින් දන්වා තිබිණි.
ඒ සමගම පක්ෂයේ බොහෝ දෙනෙකුට CMU මුලස්ථානයේ දොරගුළු වැසිණි. RMP සහ CMU දෙකඩ විණි. පී.කේ. සෝමපාල, උපාලි කුරේ, ටී.එන්. පෙරේරා, ඇන්ටන් මාකස්, කේ.ආර්.ප්‍රනාන්දු, විල්ප්‍රඩ් සිල්වා, ආතර් ප්‍රනාන්දු, කේ,එච්.පෙරේරා, රේඩ්ලි සිල්වා, හයසින්ත් සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් ජා -ඇළ ඒකල කාර්මික ජනපදය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන්නට විය. කාර්මික,ප්‍රවාහන හා පොදු සේවක සංගමය [ITGWU] නමින් කම්කරු සංගමයක් ගොඩනගා ගත්තේ RMP හි වෘත්තීය අංශය ලෙසය. ඊට පෙර CMU ඉවත්ව සිටී එච්.ඒ. සෙනෙවිරත්න ද ඔවුන් සමග එක්වුයේ කම්කරු ආරවුල් සඳහා නීති සහාය ලබා දීමට අමතරව, RMP හි පුවත්පත් වූ “ඉදිරිමග“ සහ “වෙනස“ මෙන්ම කම්කරුවන් සඳහා වූ `ප්‍රතිරාව“ ප්‍රකාශනය සම්පාදනය සඳහාය.
බහුතර ස්ත්‍රීන්ගේ මැදිහත්වීමෙන් ඇරඹි ජා -ඇළ පොලිටෙක්ස් කම්කරු අරගලය CMU සහ ITGWU වෘත්තීය සමිතිවලට තීරණාත්මක විය. සටන ඇරඹියේ CMU නායකත්වයෙන් වුවද, හටගත් මත ගැටුම් හමුවේ ITGWU යටතට සටන පත්වීමට එතරම් කාලයක් ගතවුයේ නැත. 1982 ඔක්තෝබරයෙදී මසක කාලයක් දියත්වූ පොලිටෙක්ස් අරගලය අතරතුර ශාඛා සමිතියේ ලේකම්වරිය ලීලා ෆර්ඩිනැන්ඩස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිණි. එහෙත් අරගලය ජයග්‍රාහිව නිමාවිය.
RMP හි කාන්තා සංවිධානය ලෙස පැවති කාන්තා විමුක්ති ව්‍යාපාරයේ [WLM] ක්‍රියාකාරිනියන් වූ සමන්මලී, කුමුදුනි රෝසා, කුමුදුනි සැමුවෙල්, ෆිලෝමිනා, මාලා රත්නශීලි සමඟ කලක පටන්ම ඒකල කාර්මික ජනපදයේ කම්කරු ස්ත්‍රීන් සංවිධානය කරමින් සිටියාය. එමෙන්ම ශ්‍රම සුරාකෑම, ස්ත්‍රීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය හා පීඩනය මෙන්ම කම්කරු හා ස්ත්‍රී අයිතීන් ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් ද දියත් කළාය. සමන්මලී සහෝදරිය ඇතුළු කණ්ඩායමේ සාමුහික ප්‍රතිපලයක් ලෙස ජා ඇළ පොලිටෙක්ස් හි බන්දු ශාන්ති,ලීලා ෆර්ඩිනැන්ඩස්, හේමා මාතරගේ, පද්මිණි වීරසුරිය වැනි සහෝදරියන්ගේ මුලිකත්වයෙන් වෘත්තීය සමිති ශාඛාවක් බිහිවිය. පොලිටෙක්ස් සටනේ ජයග්‍රහණයට ප්‍රධාන සාධකය වුයේ මෙම සමිතියයි.
දෙපාර්ශවය අතර පැවති මතගැටුම් අනුව එතෙක් CMU සතුව තිබු ඒකල කාර්මික ජනපදයේ යුනියන් කාබයිට්, යුනියන් ලේස්, ත්‍රිපෝෂ, ඇස්බැස්ටෝස්, කපුවත්ත මිල්ස්, නයිසෝල් වැනි කම්හල් වල ශාඛා සමිති ITGWU නව කම්කරු සමිතිය සතුවිය.
ස්ත්‍රී මධ්‍යස්ථානය ඇරඹේ

මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ වූ කටුනායක නිදහස් වෙළඳ කලාපය ඇරඹි මුල්වකවානුවේ කිසිදු කම්හලක් තුල වෘත්තීය සමිති ගොඩ ගැනීම අවහිර කර තිබිණි. මෙම තහනම නොතකා වෙනත් ප්‍රවේශයකින් කම්කරු අයිතීන් ශක්තිමත් කිරීමට RMP නායකයෝ උපක්‍රම තේරූහ. ඒ අනුව කුමුදුනී රෝසා ගේ ප්‍රධානත්වයෙන් ස්ත්‍රී මධ්‍යස්ථානය ආරම්භ කෙරිණි.
1983 ජුලි මස දෙමළ ජනයාට එරෙහිව දියත් කෙරනු ප්‍රචණ්ඩත්වය හමුවේ යු.එන්.පී ආණ්ඩුව විසින් ඉතාමත් කුමන්ත්‍රණකාරී ලෙසින් කොමියුනිස්ට් පක්‍ෂය, නව සමසමාජ පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනු ලැබිණි. ඒ එම ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු බවට චෝදනා කරමින්ය. විප්ලවකාරී මාක්ස්වාදී පක්ෂයේ නායකයන් බියට පත්වුයේ තමන්ටද ආණ්ඩුව විසින් එවැනි චෝදනාවක් එල්ල කරනු ඇතැයි පැවති සැකය නිසාය.
එහෙත් වෘත්තීය සමිතියේ කටයුතු පී.කේ.සෝමපාල, එච්,ඒ සෙනෙවිරත්න,ඇන්ටන් මාකස්, ආතර් ප්‍රනාන්දු, ලීලා ෆර්ඩිනැන්ඩස් විසින් ඉදිරියට ගෙන යනු ලැබූ අතර හා ස්ත්‍රී මධ්‍යස්ථානය කුමුදුනි රෝසා, සමන්මලී, කුමුදුනි සැමුවෙල්, ෆිලොමිනා, හේමා මාතරගේ,පද්මිණි වීරසුරිය වැනි සහෝදරියන් යටතේ ක්‍රියාත්මක විණි. එහෙත් ගතවුයේ මාස කිහිපයකි කාර්මික,ප්‍රවාහන හා පොදු සේවක සංගමයේ නායකත්වය ඇන්ටන් මාකස් විසින් පවරා ගැනීමත් සමඟ බොහෝ දෙනෙක් ඉන් ඉවත්විණි. මේ අතරතුර ස්ත්‍රී මධ්‍යස්ථානයේද බල හුවමාරුවක් වෙමින් පද්මිණි වීරසුරියට මුල් පුටුව හිමිවිණි.
ඩාබිඳු සමන්මලීට

අනතුරුව එළඹී 1984 වසරේදී RMP ප්‍රධාන ලේකම් උපාලි කුරේ මැදිහත් වීමෙන් ඩාබිදූ සාමුහිකය ඇරඹෙන්නේ සමන්මලී සහෝදරිය එහි නායකත්ව වගකීමට පත්කරමින්ය. නිදහස් වෙළඳ කලාප කම්කරු ඉතිහාසයේ එතැන් පටන් ලියවෙන්නේ සමන්මලී සහෝදරියගේ පරිච්ජේදය ය. කම්කරු ස්ත්‍රීන් සංවිධානයටත්, ඔවුන්ට දැනුම ලබා දෙන්නටත්, ඒවාගේම විනෝදාස්වාදය සඳහාත් ඇය විසින් “ඩාබිඳු“පුවත් පත ආරම්භ කළාය. ඩාබිඳු නිදහස් වෙළඳ කලාපයේ ඇරඹි පළමු පුවත්පතය. අනතුරුව කම්කරුවන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ඩාබිඳු මගින් විවිධාකාරයේ ලිපි ලේඛන ප්‍රකාශනය පත් කෙරිණි. “ඩාබිඳුවෙන් නිම්තෙරට,” “ගැහැණිය,” “වෘත්තීය සමිති අයිතිවාසිකම්“, “සමානාත්මතාවය තුළින් ස්ථිරසාර සංවර්ධනය“ ආදිය එයින් කිහිපයකි.
දෙමළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත්වයට එරෙහිවූ සමන්මලී හා සෝමපාල යුවළට නොයෙකුත් තාඩන පීඩන වලට ලක්වන්නට වුයේ 1983 කළු ජූලියත් සමඟය. ඔවුන්ගේ නිවෙස පොලිස් සෝදිසියටද ලක්විය. සමන්මලී සහෝදරියට උතුරු නැගෙනහිර පළාත් වල කම්කරුවන් සමගත් යුද අනාථයන් සමගත් වැඩ කිරීමේ අවස්ථාව උදාවුවාය. 1983 කළු ජූලියට මත්තෙන් ඇරඹී පරන්තන් රසායානාගාර කම්කරු අරගලයට දායකවීමට ඇයට අවස්තාවක් හිමිවුවාය. CMU මගින් එම සටන දියත් කෙරිණි. ඉන් අනතුරුව ඇයට වවුනියාවේ හා කිලිනොච්චියේ අවතැන් කඳවුරු වල විසු දෙමළ ස්ත්‍රීන් ගැන සොයා බලන්නට අවස්ථාව උදාවුයේ සාමය සඳහා ස්ත්‍රීන් සංවිධානයේ අනුග්‍රහයෙනි.
අනතුරුව එළෙඹී භිෂණය හමුවේ මරණ තර්ජනය එල්ලවූ බොහෝ RMP නායකයෝ යුරෝපා රටවලට පිටුවහල් වුහ. සමන්මලී -සෝමපාල යුවල ද කෙතරම් තර්ජනයක් පැමිණිය ද ඩාබිදූ සාමුහිකයේ වැඩ කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන ගියේ ඉතාමත් පරිස්සම් සහගතවය. කටුනායක කම්කරු නීති උපදෙස් මධ්‍යස්ථානය ද ක්‍රියාත්මකවුයේ RMP අනුග්‍රය ඇතිවය. එංගලන්තයේ සිට උපාලි කුරේ ඊට නොමද සහාය ලබා දුන් අතර මෙරට සිට සෝමපාල-සමන්මලී යුවල, විල්ප්‍රඩ් සිල්වා, එම්.ලයනල්, රෝහිණි වීරසිංහ, චන්ද්‍රා දේවනාරායන ඇතුළු කණ්ඩායමක් ක්‍රියාත්මක විය.
එච්.එම්.රංජිත් සමඟ එම්. ලයනල් නීති උපදේශකවරයා පහර ගෙන ගොස් මරා පුළුස්සා දැමුනේ මේ අතරතුරය. නිදහස් වෙළඳ කළාපයට භිෂණය කැඳවමින් තවත් බොහෝ කම්හල්වල කම්කරුවන් අතුරුදහන් කෙරිණි.
අනතුරුව සමන්මලී සහෝදරිය 1991 දී කම්කරු කාන්තාවන් නියෝජනය කරමින් ආසියානු කාන්තා සමුළුවට එක්වූවාය. පැහැරගෙන ගොස් මරා දැමුණු එච්.එම්. රංජිත් ගේ පෙම්වතිය වූ ජයන්ති දන්දෙණිය ද සමන්මලී සහෝදරිය සමගින් එක්ව සිටියේ ඇයට ඉමහත් ශක්තියක් වෙමින්ය. අනතුරුව එළඹී කාලය කටුනායක නිදහස් වෙළඳ කලාපයේ බොහෝ කම්කරු සටන් දියත්වුනු වකවානුවකි.
පීඩනයට එරෙහිව වෙළඳ කලාප කම්කරුවෝ සටනට

කම්කරු නීති උපදෙස් මධ්‍යස්ථානය, කම්කරු සෙවන, කලාපයේ අපි නිදහස් වෙළඳ කලාපයේ සේවකයින්ගේ ඒකාබද්ධ කමිටුව වැනි සංවිධාන සමග එක්ව කම්කරුවන්ගේ වැඩවර්ජන සහ උද්ඝෝෂණවලට එක්වූ සමන්මලී සහෝදරිය නිදහස් වෙළඳ කලාපයේ වෘත්තීය සමිති පිහිටුවීමේ අයිතිය වෙනුවෙන් ද සටන් කළාය.
මෙම ඒකාබද්ධ ක්‍රියාකාරකම්වල දිගුවක් ලෙස සහයෝගීතා කමිටුව ඔස්සේ පළමු උද්ඝෝෂණය 1997 නොවැම්බර් 7 වන දින කටුනායක දී පැවැත්වුයේ සංවිධාන හතලිස් තුනක සහභාගීත්වයෙනී.
නිදහස් වෙළඳ කලාපය තුළ වූ දරදඬු පාලනයට එරෙහිව පැවති මෙම කම්කරු සටන ඉතිහාසයේ නොමැකෙන දිනයක් ලෙස සැලකිය හැකිය.
1994 වසරේදී පැන නැගුනු බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා කම්කරු අරගලයේ සිට ඉන් පසුව ඇතිවූ කම්කරු සටන් වෙනුවෙන් ද අඛණ්ඩව පෙනී සිටීමට ඩාබිඳු සාමුහිකය සමත්විය. ඇතැම් වෘත්තීය සමිති ඇන්සල් ලංකා කම්කරුවන් හැර දමා ගිය ද, ජාතික හා ජාත්‍යන්තරව ඔවුන් වෙනුවෙන් ගෙන ගිය උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයන්ට සහාය දෙමින් ජයග්‍රහණය තෙක් සහාය දෙන්නට ඩාබිඳු සාමුහිකය ක්‍රියා කළේය.
සාවිස්ත්‍රී සංවිධානය සමඟ එක්ව ඩාබිඳු සාමූහිකය ගොවි, වතු, කම්කරු, ධීවර සහ වෙළඳ කලාප තුළ වැඩකරන කාන්තාවන් බලගන්වමින් ඔවුන්ගේ හඬ ගොඩ නැගීමට සමන්මලී සහෝදරිය මුල පුරන්නේ 1994 – 1997 කාල වකවානුවේදීය. යුද්ධයට එරෙහිව ඇය ලක්බිමේ මව්වරු සහ දියණියෝ කාන්තා සංවිධාන එකතුවද සමග වැඩ කළාය.
විප්ලවකාරී මාක්ස්වාදී පක්‍ෂය හරහා ට්‍රොට්ස්කිවාදී වාමාංශික දේශපාලනයත්, ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමය හා කාර්මික,ප්‍රවාහන හා පොදු සේවක සංගමය හරහා වෘත්තීය සමිතිවාදයත්, ස්ත්‍රී මධ්‍යස්ථානය ඔස්සේ ස්ත්‍රීවාදයත් ප්‍රගුණ කළ සමන්මලී සහෝදරිය ඩාබිඳු සාමුහිකය පවත්වාගෙන යාමේදී මේ මාවත් තුනම යොදා ගත්තාය.
සමන්මලී සහෝදරිය, නිදහස් වෙළඳ කලාප කම්කරු සටන් ඉතිහාසය තුල කිසිසේත් අත්හල නොහැකි සන්සුන් සටන්කාරිනියකි.

(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
Ishankha Singha Arachchi
Freelance Journalist




