කංසා වගාව නීතිගත කිරීමට නොබියව තීන්දුව ගත් තීන්දුව සතුටට කරුණක් – ඩයනා ගමගේ

0
52

”එදා පැවැති රජයන් කංසා වගාව නීතිගත කිරීමේ යෝජනාව පමා කිරීමට කටයුතු කළා.

නමුත් වත්මන් රජය එය ක්‍රියාවට නංවා තිබෙනවා. එදා යෝජනා ගෙන ආ මට විශාල පිරිසක් අවමන් කළා. නමුත් අද එහි සාර්ථකත්වය දැක පියවරු ගණන වැඩි වෙලා. ”
– හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ

කංසා වගාව නීතිගත කොට ඒ ඔස්සේ ලෝක වාසීන්ට වඩාත් ප්‍රතිඵලදායක ඖෂධ ඇතුලු නිෂ්පාදන රාශියක් සිදු කිරීමට නොබියව තීන්දුව ගත් ලෝකයේ රටවල් දොළහ අතරට ශ්‍රී ලංකාව එකතුවීම සතුටට කරුණක් බව හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ ප්‍රකාශ කළාය.

වසර 2020 දී තමා ගෙනා යෝජනාවක් පසෙකට දමා තමාට ද අවමන් කොට ක්‍රියාත්මක කිරීම පමාකොට තිබූ කංසා වගාව නීතිගත කොට ඒ ආශ්‍රිතව නිෂ්පාදනය කරන ප්‍රතිශක්තිය ඉහළ නංවන ඖෂධ, රූපලාවන්‍ය වැඩිකරවන තෙල්බෙහෙත් ඇතුළු නිෂ්පාදන ලොව පුරා බෙදාහරින ඉහළ ආදායමක් ලබාගැනීමට හැකි ලෙස කටයුතු කිරීමට පියවර ගැනීම පිළිබඳව රජයට ස්තුතිවන්ත වන බවද ඇය කීවාය.


මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම වසර 4කින් ප්‍රමාදවීම රටේ ආර්ථිකයට විශාල ලෙස අයහපතක් සිදුවූ බව පෙන්වා දුන් ඩයනා ගමගේ, කංසා වගාව නීතිගත කොට දැඩි ආරක්ෂිත කොන්දේසි යටතේ රටට, රටේ ජනතාවට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකි මගක් ලෙස තමා ඉදිරිපත් කළ යෝජනාව පසුව හෝ ක්‍රියාත්මක කිරීම සතුටට කරුණක් බව ද පැවසුවාය.

ඇය එබව කියා සිටියේ, කොළඹ තලවතුගොඩ අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන එකකට අධික වෙළෙඳපොළක් හිමි කර්මාන්තයක්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩයනා ගමගේ, ලෝකයේ එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන එකකට අධික වෙළෙඳපොළක් හිමි කර්මාන්තයක් ලෙස කංසා වගාව ආශ්‍රිත කර්මාන්තය හැඳින්විය හැකියි. එය මේ වනවිට ලෝකයේ රටවල් 12ක් නීතිගතකොට තිබෙනවා. දකුණු ආසියාවේ අපි සමඟ ඉන්දියාවේ ප්‍රාන්ත තුනක් මේ සඳහා නීත්‍යානුකූල අවසරය ලබා දී තිබෙනවා.

“කංසා වගාව හරිතාගාර වගාවක් ලෙස සිදුකොට එහි අමුද්‍රව්‍ය යොදාගෙන බොහෝ ඖෂධ, රූපලාවණ්‍ය ඉහළ නංවන දෑ, කඩදාසි, සීත රටවලට අවශ්‍ය නම් උණුසුම රැඳෙන ඉදිකිරීම් සිදුකිරීමට අවශ්‍ය ගඩොල්, දත් බෙහෙත්, ප්ලාස්ටික් ඇතුළු නව නිර්මාණ රැසක් කළ හැකියි.  ඒවාට ලෝකයේ ඉහළ ධනවතුන් ජීවත්වන රටවල ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා. ලෝකයේ විශාලතම කංසා වගා ව්‍යාපාර හා කර්මාන්ත තිබෙන්නේ එංගලන්තයේ. ඇමෙරිකාව, නෙදර්ලන්තය ඇතුලු ලෝකයේ රටවල මේ සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා.

මෙම නිපැයුම් අලෙවිය තුළින් අපට රටක් ලෙස විශාල ආදායමක් ලබාගැනීමට හැකියි.  විදේශ ආයෝජකයින්ට මේ සඳහා යොමුවීමට ඉඩ දීමෙන් අපට විදේශ විනිමය ලැබෙනවා. රජය කංසා වගාව වැඩිදියුණුකොට ඒ හරහා නිපදවෙන නව නිපැයුම් ප්‍රවර්ධනයට කටයුතු කළ යුතුයි.  ඒ තුළින් ජනතාවගේ ආදායම් වැඩි වෙනවා. රැකී රක්ෂා අවස්ථා බිහිවෙනවා.  විශාල පිරිසකට තම ජීවිත ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ඉඩ ලැබෙනවා.


ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් රජය මෙම ඩොලර් උපයන ආර්ථික ක්‍රියාකාරකම පිළිබඳව විපක්ෂයේ සිටිනවාට වඩා බුද්ධිමත්ව රජයක් ලෙස සිටියදී කරුණු අධ්‍යයනය කොට නිවැරැදි තීරණයක් ගෙන තිබෙනවා. මේ සඳහා අවසර ලබාදීමට ගත් තීරණය අපි අගය කරනවා.


අප මෙම යෝජනාව ගෙනඑන විට ඊට හිනාවුණා. බාධා කළා. නමුත් එම කාලයේ මෙම යෝජනාව ක්‍රියාත්මක කළ තායිලන්තය මේ වනවිට ඩොලර් මිලියන 286ක් උපයා තිබෙනවා. පසුගිය කාලයේ තායිලන්තය කංසා වගාව ආශ්‍රිත කර්මාන්තකරණයක් පිළිබඳ ජගත් ප්‍රදර්ශනයක් පැවැත්වූවා. එම ප්‍රදර්ශනයට විශාල නිපැයුම් ප්‍රමාණයක් එක්කර තිබුණා.  එය නැරැඹීමට ලෝකය පුරා සිටින ලක්ෂ 22ක අධික පිරිසක් පැමිණ තිබුණා. ඒ හරහා තායිලන්තයට විශාල මුදලක් විදේශ විනිමය ලැබුණා. අපිත් ඒවා ක්‍රියාත්මක කිරීමට පසුබට නොවිය යුතුයි.”  ඩයනා ගමගේ කීවාය.  

‘අපි කටයුතු කරන්නේ රටගැන සිතායි. පක්ෂ පාට භේදයක් නැහැ”

අපි කටයුතු කරන්නේ රටගැන සිතායි. පක්ෂ පාට භේදයක් නැහැ. අපි බලයේ සිටියදී යෝජනා කළ රාත්‍රී ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව  නව රජය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.  රාත්‍රී ආර්ථිකයක් ක්‍රියාත්මක වීම තුළින් තමයි 70%ක ආදායමක් උත්පාදනය වන්නේ. දහවල් ආර්ථිකයෙන් 30% යි ආර්ථික කටයුතුවලින් උත්පාදනය වෙන්නේ. මේ නිසා අනිවාර්යයෙන්ම රාත්‍රී ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කළ යුතුයි.

ඒ වගේම රටේ තිබෙන ස්වභාවික සම්පත්වල උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නව රජය කටයුතු කළ යුතුය.  මේ සඳහා රජයට අප කරන යෝජනා ඉතා නිර්ලෝභීව ලබාදීමට සූදානම් බව ද ඇය කීවාය.

(සටහන | ජේ.මුණසිංහ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here