නිදහස් සහ සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයේ (PAFFREL) කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
“දේශපාලනයේ කාන්තා නියෝජනය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය” යන මැයෙන් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මෙහිදී මුඛ්‍ය දේශනය ඉදිරිපත් කළේය.
එසේම පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ වැඩබලන අධ්‍යක්ෂ සන්නිවේදන එම්. ජයලත් පෙරේරා “පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමය” සම්බන්ධයෙන් දේශනයක් ඉදිරිපත් කරන ලදි.
මෙහිදී වැඩසටහනට ආරම්භයක් සපයමින් PAFFREL සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසා සිටියේ පාර්ලිමේන්තු ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනගැනීමට සුදුසුම කණ්ඩායම සමග සම්බන්ධවීමට ලැබීම සතුටක් බවයි. එසේම පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් හෙතෙම සිය ස්තූතිය පළ කළේය. විශාකා ධර්මදාස විසින් වැඩසටහනේ ස්තූති කාථාව ඉදිරිපත් කරන ලදි.
එසේම මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සාම කවුන්සිලයේ විධායක අධ්‍යක්ෂ සහ PAFFREL සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (ආචාර්ය) ජෙහාන් පෙරේරා ද සහභාගී විය.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.