අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එහා ගියා පුළුල් පරිවර්තනයක් අවශ්‍යයි – අගමැතිනි

0
133

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් කිරීම අවශ්‍ය බවත් පෞද්ගලික උපාධි ආයතන නියාමනය කරන නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් ජනතාව ඉල්ලා සිටින බවත්, පාසල් අතර පවතින පරතරය නැති කළ යුතු අතර පෞද්ගලික උපාධි ආයතන නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළි වෙලක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන කොමිසම, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.

පාසල් අතර පරතරය නැතිකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය රැකියාවකට එහා ගිය ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග සිදු වූ අධ්‍යාපන විප්ලවයට එහා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය බවත්, එය ඉටු කිරීමට වත්මන් රජය බැදී සිටින බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය ක⁣ළාය. වංචනික උපාධි ආයතන වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමත්, ඒ සඳහා වන නෛතික රාමුව සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයන් හි ගුණාත්මක භාවය ඉහල නැංවිය යුතු බවත් ඇය පැවසුවාය.

මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කමල් පත්මසිරි, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් චන්දිමා ජානකී , ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපතිනී පද්මිණි රණවීර ඇතුළු එම ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here