බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට රටේ බලයට පත් කිසිදු පාලකයකුට ‘වගේ වගක් නොමැති’ බව
අතුරුදහන් සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීමට ගෞරව පිණිස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනියක් පවසයි.
“අපිට තාම යුක්තිය දුරයි. පේනවා, යුක්තිය එනවා කියලා. ඇහෙනවා, යුක්තිය දෙනවා කියලා. ඒත් තවමත් ඒ යුක්තිය දුරයි. මම විතරක් නෙමෙයි. මේ රටේ පාංශුකූලය අහිමි බොහෝ මිනිස්සු ඉන්නවා. උතුරේද, දකුණේ ද, නැගෙනහිරද මේ හැම තැනම. ගෑනු තවමත් පොලවේ පස් කාගෙන අඩනවා. තමන්ගේ ආදරනීයන් ඉල්ලලා. ඒත් තවමත් මේ රටේ මාරුවෙන කිසිම පාලකයෙක්ට යුක්තිය ගැන වගේ වගක් නැ. ඉතින් අපිට නැවතත් ස්වභාව ධර්මය ලගට එන්න වෙනවා. නැවතත් මේ රටේ පිහිට යදින්න පුළුවන් අය ගාවට එන්න සිද්ධවෙනවා.”
යුක්තිය සොයා අඛණ්ඩව දශක එක හමාරක කාලයක් තිස්සේ අරගලයේ යෙදී සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ ඒ බව සදහන් කළේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කර පහලොස් වසරක් සපිරෙන මොහොතේ නවගමුව පත්තිනි දේවාල භූමියේ කන්නගි පූජාව සමඟින් අධිෂ්ඨාන පූජාවක් පවත්වා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කර, දහසය වසරක් පිරීමට මත්තෙන් අපරාධ කරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඇය එහිදී රටේ වත්මන් පාලකයන්ගෙන් ඉල්ලා තිබුනි.
“මේ රටේ පාලකයන්ගෙන් ඉල්ලනවා මම මේ අවුරුද්ද අවසාන වෙන්න ඉස්සරලා 2026 ජනවාරි 24 වෙන්න ඉස්සරලා මේ ඉන්න අපරාධ කරුවන්ට දඩුවම් දෙන්න. මේ රටේ යුක්තිය වෙනුවෙන් පාරක් පාරක් ගානේ ඇවිදින මිනිස්සුන්ට යුක්තිය ලබා දෙන්න. ඒ අපරාධකාරයොන්ට දඩුවම් ලැබිලා අපේ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ඨ වෙච්ච දාට අපිට මේ රටේ නිදහසේ පුරවැසියන් විදිහට හුස්මක් ගන්න පුළුවන් වේවි.”
යුක්තිය සොයා අඛණ්ඩව දශක එක හමාරක කාලයක් තිස්සේ සිදු කරගෙන යන අරගලයට සහාය වු සැමටත් සන්ධ්‍යා එක්නැලිගොඩ එහිදී ස්තුතිය පුද කළාය.
“අපි හිතනවා මේ පුනරුද ආණ්ඩුව අපිට යුක්තිය ඉෂ්ඨ කරලා සැබෑ පුනරුදයක් පෙන්නාවි, රට වෙනස් කරාවි කියලා. අද සිට මේ රටේ අධිකරණ වල ඇවිදමින් අපිට කරන්න සිද්ධ වෙන්නේ. බලාපොරොත්තුවෙන් ඉන්න සිද්ධ වෙන්නේ. මේ අවුරුදු 15 පුරා මට සහයෝගය දුන් ඔබ හැමෝටම ස්තුතියි.”
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කර තිබුනේ 2010 ජනවාරි 24 දාය.
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් ද ඊට පෙර කැරලි වලින්ද අතුරුදහන් දහස් සංඛ්‍යාත ජනකායකගේ ඥාති සමුහයාගේ සංකේතයක් බවට පත්වූ කාන්තාවක් ලෙසින් සන්ධ්‍යා එක්නැලිගොඩ එක්සත් ජනපද ජගත් දිරිය කත සම්මානයෙන් 2017 වසරේදී පුද ලද්දීය.
සම්මානය සඳහා ඇය තෝරාගැනීමට හේතු පාදක වූයේ අතුරුදහන් සිය සැමියා ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ සත්‍යය හෙළි කරගැනීමට බාධා පෑ බලධාරීන්ගේ අවහිර නොතකා අසූ වතාවකට වඩා උසාවි ගානේ යමින් සන්ධ්‍යා විදහා දැක්වූ ධෛර්යය බව ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ඒ ෂැනොන් විසින් ප්‍රකාශ කර තිබුනි.